සර් එන්න පිළිසදරට - රැකියා විරහිත උපාධිධාරීන් සමඟ

සර් එන්න පිළිසදරට - රැකියා විරහිත උපාධිධාරීන් සමඟ

මේ මොහොත වන විට රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්දයෙන් ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (03) දින රැකියා විරහිත උපාධිධාරී මධ්‍යස්ථානයේ කැදවුම්කරු මහේෂ් අඹේපිටිය මහතාගේ සහ ආයූර්වේද වෛද්‍ය ප්‍රියන්ත වලවිට මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මහේෂ් අඹේපිටිය මහතා දැක්වූ අදහස්,

උපාධිධාරීන් මුහුණ දී ඇති ගැටළුව පිළිබදව ආණ්ඩුවේ අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය යැයි අපි සිතමු . ඒ අනුව උපාධිධාරීන් හැට දහසකට රැකියා ලබා දීම සඳහා පොරොන්දුව ලබා දී බලයට පැමිණි මෙම ආණ්ඩුව එය සම්පූර්ණයෙන් යතාර්ථයක් බවට පත් නොකොට උපාධිධාරීන් අපහසුතාවයට පත් කරමින් සිටී.

2020 ජනවාරී 05 දින ප්‍රසිද්ධියට පත් කරන ලද උපාධිධාරීන් රැකියා ගත කිරීමේ නාම ලේඛනයට අනූව 2020 පෙබරවාරී 01 දා පුහුණුවට බඳවාගන්නා ලද සම්පූර්ණ උපාධිධාරීන් සංඛ්‍යාව 52000 ට ආසන්නය. තව රැකියා අවස්ථා 8000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිපාදන වෙන්ව තිබියදීත් රැකියා ලබා නොදී ආණ්ඩුව මඟහරිමින් සිටී. මේ වන විට රැකියා ලබා දීමේදී ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය හා කළමණාකාරීත්වයක් නොමැති වීමෙන් ගොඩනැගී ඇති ගැටළු රාශියකි.

  1. සියළු සුදුසුකම් සපුරා තිබියදී , රැකියා ගත කිරීමේ නාම ලේඛණයට ඇතුලත් නොවූ උපාධිධාරීන් ප්‍රමාණයක් සිටීම.
  2. රැකියා ගත කිරීමේ නාම ලේඛණයට ඇතුලත්ව තිබුනත් පත්වීම් ලිපියක් නොලද උපාධිධාරීන් සංඛ්‍යාවක් සිටීම.
  3. අභියාචනයක් මගින් නිවැරදි කර රැකියාව ලබා ගැනීමේ අවස්ථාව හිමි උපාධිධාරීන් ප්‍රමාණයකට රැකියාව අහිමිවීම.
  4. ඌණ සේවා රැකියාවක නිරතවීම සහ ETF,ETF රැකියාවක නිරතවීම නිසා රැකියා අවස්ථාව අහිමි වූ උපාධිධාරීන් සිටීම.
  5. රැකියා ලබා දීමේ ආරම්භක පියවරේ සිට වයස් සීමාව නොඉක්මවූ උපාධිධාරීන් රැකියාව ලබා නොදීම නිසා අවුරුදු 45 හේ වයස් සීමාව ඉක්මවීමෙන් අසාධාරණයට පත්ව සිටින උපාධිධාරීන්.

ඉහත පරිදි මේ ආණ්ඩුවේ අකාර්යක්ෂම හා අවිධිමත් වැඩපිලිවෙල නිසා විශාල උපාධිධාරීන් ප්‍රමාණයක් අසාධාරනයට හා පීඩාවට පත්ව සිටී. මේ ආණ්ඩුව බලය ලබා ගන්නා විට ඡන්දය වෙනුවෙන් දුන් පොරොන්දුව වූයේ කිසිදු බේදයක් සීමාවක් නොකර සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවයි.

එම පොරොන්දුවට අනූව රැකියා අවස්ථා හැට දහසෙන් ( 60000) ඉතිරිව ඇති අට දහසක් (8000) වූ රැකියා අවස්ථා කඩිනමින් ලබා දෙන ලෙස අප ආණ්ඩුවෙන් බල කර ඉල්ලා සිටින්නෙමු. මේ වන විට 2020 මුල උපාධිය සම්පූර්ණ වූ උපාධිධාරීන් 5500 කට ආසන්න සංඛ්‍යාවක් රැකියා අහිමිව සිටී . එම උපාධිධාරීන්ගේ උපාධිය වලංගු වන දිනය ලැබිය යුතුව තිබුනේ 2019 දෙසැම්බර් 31 දිනට පෙරය .නමුත් පාස්කු ප්‍රහාරය, විශ්ව විද්‍යාල අනධ්‍යන වැඩ වර්ජනය නියමිත වෙලාවට විභාග නොපැවැත්වීම නිසා ඔවුන් මෙම ගැටළුවට මුහුණ දී රැකියා අවස්ථාව අහිමි වී තිබේ. එබැවින් ඔවුන්ගේ වයස් සීමාව ඉක්මවා යෑමත් රැකියාවක් නොමැති වීමත් නිසා දැඩි පීඩාවට ලක්ව තිබේ, 5500ක් පමණ වන මෙම උපාධිධාරීන්ගේ ගැටළුවට විසදුමක් ලෙස ඉතුරු වී ඇති රැකියා අවස්ථා 8000 න් වහාම පියවන ලෙස අප ආණ්ඩුවට බලකර සිටිමු. 

ආයූර්වේද වෛද්‍යවරුන් 900 ට ආසන්න සංඛ්‍යාවකට මේ වන විටත් රැකියා ලබා දී නොමැත. දේශීය වෛද්‍ය ක්ශේත්‍රය ආරක්ශාකරන්නටත් දේශීය ශාන්ති කර්මවේදීන්ගේ සමුළු පවත්වා බලයට පැමිණි මෙම ආණ්ඩුව දේශීය වෛද්‍යවරුන්ට රැකියා ලබා නොදී අතරමං කරමින් සිටී.

උපාධිධාරීන්ගේ ගැටළු සම්බන්දයෙන් මේ වනවිට මතුව ඇති මෙම ගැටළුවලට වහාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම මැදිහත් වී විසදුම් ලබා දිය යුතුය .එසේ නොවුන හොත් 2012 සිට අප තෝරා ගත් මහ පාරේ අරගලයට අවතීර්ණ වීමට සිදුවනු ඇත. ඒවා මර්ධනය කිරීමට " සර් " ගේ ගෝලබාලයන්ට නොහැකිවනු ඇත. කුමන බාධක එල්ල කලද රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් නොනවතින අරගල කරන්නෙමු.