ඇඟළුම් සමිති විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කරයි

covid and garments
  • කොවිඩ් 19 2020 මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාසවල ලෝව පුරා ඇඟළුම් සේවකයින්ට ඩොලර් මිලියන 7000 ක් අහිමි කරයි
  • ලංකාවේ ඇඟළුම් සේවකයින්ට අහිමි කළ මුදල ඩොලර් මිලියන 24 යි (රුපියල් කෝටි 480 යි)

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මස සිට මැයි මාසය දක්වා සමස්ථ ආසියාවේම පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවලට ඉතා තදබල ලෙස බලපෑම් ඇති කළ බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් එම තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජනගත් ඇඟළුම් ගැණුම්කරුවන් (බ‍්‍රෑන්ඩ්ස්) තම ඇණවුම් ඉල්ලා අස්කරගත් අතර ඇණවුම්වලට නිසි ගෙවීම් ද කර නැති බවට චෝදනා ඇත.

එළෙසම ඇඟළුම් කර්මාන්තශාලා හිමියන් ද වසර ගණනාවක් සේවය කළ සේවකයින්ට අපේ‍්‍රල් මස ගෙවීමට නියමිතව තිබූ බෝනස් මුදල් අහිමි කිරීම, සේවයට වාර්ථා කිරීමට නොහැකි වූ සේවකයින්ට වැටුප් නොගෙවීම, පැමිණීමේ දීමනා අහිමි කිරීම, ප‍්‍රවාහන පහසුකම් ලබා නොදීම, උනන්දු දීමනා නැති කිරීම, අතිකාල කර යන්තමින් ජීවිතය ගැටගහගත් සේවකයින්ගේ අතිකාල අහිමි කිරීම වැනි ක‍්‍රම මගින් ඔවුනට අහිමි කළ මුදල සුළුපටු නොවන බව ඉහත දැක්වෙන ප‍්‍රමාණයන් අනුව පෙනී යනු ඇත. මීට අමතරව විශාල සේවක පිරිසකගේ රැකියා අහිමි කළ අතර ඒ සඳහා ඔවුනට හිමිවිය යුතු වන්දි මුදල් ද ගෙවා නැත.

මෙසේ කොවිඩ් 19 වසංගතය නිසා අසාධාරණයට ලක් වූ ලොව පුරා සිටින ඇඟළුම් සේවකයින්ට අහිමි කළ එම මුදල් ගෙවන ලෙස ඉල්ලා වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන එකතු වී එසේ අහිමි කළ මුදල් ඇඟළුම් සේවක සේවිකාවන්ට ගෙවන ලෙසට ගැණුම්කරුවන්ට සහ කර්මාන්තශාලා හිමියන්ට බල කිරීමට 2021 මාර්තු මස 15 වන දින සිට 21 වන දින දක්වා විරෝධතා සතියක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම සතිය පුරා එක් එක් රටවල් වල ඇඟළුම් සේවකයින්, වෘත්තීය සමිති සහ වෙනත් සංවිධාන විවිධ ක‍්‍රියාකාරකම්වල යෙදෙන අතර පෙත්සම් අත්සන් කිරීම්, රැස්වීම් පැවැත්වීම සහ සටන් පුවරු ප‍්‍රදර්ශනය කරමින් තමන්ට අහිමි කළ ගෙවීම් දිනා ගැනීමට කටයුතු කරන්මි සිටී.

ශ‍්‍රී ලාංකික අපි ද එම විරෝධතා සතියට එක්වී අපට අහිමි කළ එම දීමනා ඉල්ලා 2021 මාර්තු මස 20 වන දින කටුනායක, ගම්පහ, ජා ඇල, ඒකල, බියගම සහ මහියංගණය වැනි ප‍්‍රදේශවල ගනු ලබන ක‍්‍රියාකාරකවම්ලට අප හා එක්වන ලෙස ඔබට ද ආරාධනා කර සිටිමු.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය