ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ප්‍රචන්ඩත්වය පිළිබඳ තොරතුරු සේවාවන් වැඩි දියුණු කිරීමට යටිතල පහසුකම්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ප්‍රචන්ඩත්වය පිළිබඳ තොරතුරු සේවාවන් වැඩි දියුණු කිරීමට යටිතල පහසුකම්

ශ‍්‍රී ලංකාවේ ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍ය සේවාවන් වෙත ප‍්‍රවේශය සවිමත් කිරීමේ අරමුණින් සහ තරුණයන් හා කාන්තාවන් හට වෙන්වූ සෞඛ්‍ය මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් හා එහි සපයන සේවාවන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය උපකරණ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ජපාන රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙන ලදී.

කාන්තාවන් සහ තරුණ ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍ය, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු සහ සේවාවන් සඳහා ප‍්‍රවේශය වැඩි දියුණු කිරීමට; ජපන් රජයේ අනුග‍්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල තුලින් ක‍්‍රියාත්මක වන, “ප‍්‍රාර්ථනා“ නම් වූ ව්‍යාපෘතිය තුලින් මෙම උපකරණ ලබාදෙන ලදී.

මෙම තුන් අවුරුදු ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ආධාරයකින් යුතුව ක‍්‍රියාත්මක වන අතර, ශ‍්‍රී ලංකාවේ පවුල් සැලසුම් සේවා සඳහා කාන්තාවන්ගේ ප‍්‍රවේශය ඉහළ නැංවීම, තරුණයන් හා කාන්තාවන්හට වෙන්වූ සෞඛ්‍ය මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්හට සපයන සේවාවන් ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය මූලික වශයෙන් අවධානය යොමු කරයි.

එනිසාවෙන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, ඇමරිකානු ඩොලර් 150,000 කට වැඩි වටිනකමකින් යුත් වෛද්‍ය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපකරණ; ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ මිය, ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නැකන් මිය සහ අනෙකුත් නිලධාරීන් ඉදිරියේ 2021 මාර්තු 29 වන දින පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී.

මෙම සහයෝගය අගය කරමින්, ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ මිය මෙසේ පැවසීය.

‘ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුල සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන නමුත්, කාන්තාවන් සහ තරුණ තරුණියන් සඳහා ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍ය සේවා සැපයීම ආදී අංශ වැඩි දියුණු කිරීමට අවශ්‍යතාවය තව දුරටත් පවතිනවා. එවැනි අංශ තවත් දියුණු කිරීමට ලබා දෙන මෙම මහඟු සහයෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන්, ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ජපන් රජයට මම ස්තූතිවන්ත වෙනවා.

උත්සව අවස්ථාව අමතමින් ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිරා සුගියාමා මැතිතුමා මෙසේ පැවසී ය.

‘ජපානය වසර ගණනාවක් පුරා ශ‍්‍රී ලංකාවේ සාමය හා සංවර්ධනය උදෙසා සහයෝගය ලබා දී ඇති අතර, 2018 වර්ෂයේදී සිට G7 රාජ්‍ය එකමුතුවේ, කාන්තාව, සාමය සහ ආරක්ෂාව සහයෝගිතා මුලපිරුමේ හවුල්කාර රට වන ශ‍්‍රී ලංකාවේ උත්සාහයන්ට ජපානය සහය දක්වයි. ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) තුලින් ක‍්‍රියාත්මක වන තාක්ෂණික සහයෝගීතා වැඩසටහනට අමතරව, ජපාන රජය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 6 ක මුදලක් මෙම මුලපිරුම සඳහා ලබා දී ඇත. අද දින මේ ලබා දුන් උපකරණ තුලින් දැනට පවතින තරුණයන් හා කාන්තාවන් හට වෙන්වූ සෞඛ්‍ය මධ්‍යස්ථාන තවත් වැඩි දියුණු කර, ඒ තුලින් ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට හා සාමය සඳහා ප‍්‍රධානතම දායකයන්වන කාන්තාවන්ට සහ තරුණ තරුණියන්ට ප‍්‍රතිලාභ සැලසීමටත් හැකි වනු ඇති බව ජපානයේ අපේක්ෂාව වේ’.

මෙයට කරුණු එක් කරමින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ‍්‍රී ලංකා නියෝජිත රිට්සු නැකන් මිය, ‘ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍ය පිළිබඳව තොරතුරු හා එම සේවාවන් වෙත ප‍්‍රවේශය සැපයීම ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ. කොවිඞ් වසංගත තත්ත්වයට පෙර පවා, ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍ය පිළිබඳව තොරතුරු හා සේවාවන්ට ප‍්‍රවේශය ලබාගැනීමට බොහෝ දෙනෙකුට, විශේෂයෙන් තරුණ ප‍්‍රජාවට අසීරු කරුණක් විය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, ජපන් රජය හා එක්ව අත්‍යඅවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සෑම කෙනෙකුටම සැපයීමට, සෞඛ්‍ය අමාත්‍යාංශයට සහයෝගය දැක්වීම සතුටට කරුණකි’ යනුවෙන් ප‍්‍රකාශ කරන ලදී.

කොවිඩ්-19 වසංගතය හමුවේ සහ ඉන් ඔබ්බට, ශ‍්‍රී ලංකාව තුල ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍ය සේවාවන්හි අඛණ්ඩ සැපයුමක් මෙම අත්‍යවශ්‍ය අයිතමයන් තුලින් සහතික කරනු ඇත.