සංචාරක ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ට සුභ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ට සුභ ආරංචියක්

සංචාරක ක්ශේත්‍රයේ නියැලී සිටින්නන්ගෙන් පළාත් පාලන මට්ටමෙන් අය කරගන්නා බදු අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරේ. සංචාරක ක්ශේත්‍රයේ නියැලී සිටින්නන්ගෙන් පළාත් බදු අයකිරීමේදී ලියාපදිංචි ආයතන සහ ලියාපදිංචි නොවන ආයතන අතර පවතින බරපතළ බදු පරතරය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින අර්බුදය විසඳීමේ අරමුණින් දැනටමත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පළාත් ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡා ආරම්භ කොට තිබේ.

මෙම විශාල බදු පරතරය හේතුවෙන් රජයට අයවිය යුතු බදු ගෙවීම පැහැරහැරීමට ඇතැමුන් උත්සහ දරණ අතර රජයේ ලියාපදිංචි නොවී ආයතන පවත්වාගෙන යාමට තවත් පිරිසක් කටයුතු කිරීම නිසා විශාල මුදලක් වාර්ෂිකව රජයට අහිමි වෙයි.

බදු සහන ලබාදීම තුළින් පළාත් මට්ටමින් සංචාරක ක්ශේත්‍රයේ නියැලී සිටින්නන් දිරිමත් කිරීම සහ එම සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනෙන අතරම බදු ගෙවීම දිරිමත් කිරීමටද අපේක්ෂා කෙරෙයි.

කොළඹ දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත නාගරික සංචාරක ස්ථාන ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රීක්කයේ සංචාරක ක්ශේත්‍රයේ නියැලී සිටින්නන්ගෙන් අයකෙරෙන පළාත් බදු ප්‍රමාණය පහත දැමීම අත්‍යවශය කරුණක් වී තිබේ.

කොළඹ දිස්ත්‍රීක් නාගරික සංචාරක ස්ථාන ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව නිදහස් අනුස්මරණ ශාලාව, සීමා මාලක භාවනා මධ්‍යස්ථානය,කොටුව පාවෙන වෙළඳපොල,රන් මධ්‍යස්ථානය,තුරඟ තරඟ පිටිය,ප්‍රදීපාගාරය ,නෙළුම් කුළුණ,ග්‍රීන් පාත්, ලන්දේසි රෝහල, විහාර මයා දේවි උද්‍යානය,ජාතික කෞත්‍රකාගාරය,ගාලු මුවදොර,පැරණි පාර්ලිමේන්තුව, සීතාවක තෙත් කලාපීය උද්‍යානය, ගල්කිස්ස වෙරළ තීරය, බෙල්ලංවිල අත්තිඩිය අභය භූමිය,ගංගාරාම විහාරස්ථානය,ආකේඩ් නිදහස් චතුරස්‍ර කලාපය, පෝට් සිටි යන ස්ථාන ප්‍රවර්ධනය ‍කිරීමට නියමිතව තිබේ.

මේ යටතේ සංචාරක ආකර්ශනීය ස්ථාන වල දේශීය නිෂ්පාදන අලෙවිය ප්‍රවරධනයට පහසුකම් සැපයීම,නව ව්‍යවසායකයින් සංචාරක කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා සම්බන්ධ කරගැනීම, පැයක් තුළ සංචාරක ආකර්ශණීය ස්ථාන වලට ගමන් කිරීමට හැකිවන පරිදි ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම, සංචාරක යතුරුපැදි සේවා සහ ඇල මාර්ල ආශ්‍රිත ‍බෝට්ටුසේවා ඇතිකිරීම, පයින් ගමන් කළ හැකි සංචාරක ස්ථාන පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම යන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.

දිවයිනේ සංචාරය කරනු ලබන සංචාරකයින් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ වල නවාතැන් ගැනිම සුලබ දසුනක් වන අතර මෙම වැඩසටහන තුළින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලබාගැනීමට අපේක්ෂා කෙරෙයි.

මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමට සමගාමිව විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරෙන අතර ද්‍රව්‍ය සැපයීම් ජාලයක් බිහිවීම තුළින් නව ව්‍යවසායක අවස්ථා රැසක් බිහිකිරීමටද අපේක්ෂා කෙරෙයි.

පළාත් බදු අඩුකිරීම මගින් මෙම ක්‍රියාදාමය සඳහා පළාත් මට්ටමින් වැඩි ව්‍යවසායකයින් පිරිසක් ආකර්ශණය කරගැනීමට අපේක්ෂිත අතර දැනට සංචාරක කර්මාන්තයේ නියැලී සිටින කණ්ඩායම් වල ජීවන මට්ටම ඉහල නංවාලීමටද අපේක්ෂා කෙරෙයි.