"වරාය නගර කොමිෂන් සභා පනත" කම්කරු නීති උදුරා ගන්නා උගුලක්

"වරාය නගර කොමිෂන් සභා පනත" කම්කරු නීති උදුරා ගන්නා උගුලක්
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත මඟින් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්  වලට බලපෑම් කරන ආකාරයත් ඊට වෘත්තීය සමිති ලෙස මැදිහත්වීමේ අවශ්‍යතාවය හා ඊට මැදිහත්වෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මධ්‍ය වෙත පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (22) දිනයේ කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විය.
 
ඒ අවස්ථාව සඳහා වෘත්තීය සමිති නියෝජනය කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, නිදහස් සේවක සංගමය ,ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය ,එක්සත් කම්කරු සම්මේලනය හා ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමයන්හි ඉහළ පෙළ නායකයින් කිහිපදෙනෙකු සහභාගිවූ වුහ.
 
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයින් සඳහන් කළ වැදගත් කාරණය වන්නේ "කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත" සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරමින් මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නකැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකොට තිබෙන බවයි.
 
තවද,මෙම පෙත්සම හරහා කොළඹ වරාය නගරයෙහි අදාල පනතින් ස්ථාපිත කරන විශේෂ ආර්ථික කලාපයේ පාලන අධිකාරිය වන කොළඹ වරාය නගරය කොමිසම් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකමින් බලය හැසිරීමේ අයිතියක් ලබා දෙන බවත් මහා භාණ්ඩාගාරයට මෙරට ආදායම අය කිරීම් බරපතල ලෙස අහිමි කිරීමත්,සියලු ආකාරයේ ඉඩම් පරිහරණය කොමිසම් සභාව වෙත හිමිවෙන,වැටුප් ගෙවීමද මෙරට භාවිතාවන මුදල්වලින් නොවෙන,නගර සංවර්ධන අධිකාරයට හා කිසිඳු පළාත් පාලන ආයතනයක හෝ පළාත් සභාවකට අයත් නොවෙන මෙන්ම පාර්ලිමේන්තුවට වග නොකියන ,එකී කලාපය තුළ තමන්ට රිසි සේ නීති අණපනත් වෙනස්කරමින් කටයුතු කිරීමට හැකි බලයක් මේ කොමිසම සතු වන බවයි.
 
එබැවින් මෙවැනි වටපිටාවක් තුළ කම්කරුවන්ගේ ශ්‍රම සූරා කෑම්, කාන්තා ශ්‍රමය හිතුමතේ බරපතල ලෙස  හා අනිසි ලෙස සූරා කෑම් වැළැක්වීමට නොහැකි තත්ත්වයක් මතුවන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.
 
තවද කම්කරු ඇමතිවරයාටද ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැගීමටත් කම්කරු දෙපාර්තමේන්තුවට සේවා කොන්දේසි,සේවක අයිතිවාසිකම් හා සේවා තත්ත්වයන් පරීක්ෂා කිරීමටත් ,නියාමනය කිරීමටත්,පැමිණිලි විභාග කිරීමටත් ,නීති පියවර ගැනීමටත් යෝජිත පනත් කෙටුම්පතෙහි කිසිඳු ප්‍රතිපාදනයක් නොමැති බව වෘත්තීය සමිති තරයේ ප්‍රකාශ කරනු ලැබීය.
 
එබැවින් වෘත්තීය සමිති ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පටහැනි ලෙස කටයුතු කිරීමට කොළඹ වරාය නගරය  කොමිසම් සභාවට බලය ලබා දීමක් ලෙස ශ්‍රේණ්ඨාධිකරණයට කරුණු  ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙන බවත් සඳහන් කළේය.
 
අවසාන වශයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්කර ඇති පෙත්සම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම පනත සංශෝධිතව ඉදිරිපත් නොකරන්නේ නම් එය පාර්ලිමෙනතුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කර පැහැදිලි අධිකරණ තීන්දුවක් ලබා දීම අත්‍යාවශය බවයි.