සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන්න

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන්න

පැතිරෙමින් ඇති කොවිඩ් වෛරසය බරපතලයි, හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය පහසුකම් සපයන ලෙස සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ වන විට තෙවැනි කොවිඩ් රැල්ලක්ද රටපුරා පැතිර යමින් තිබේ. විවිධ ප්‍රදේශ වලින් #කොවිඩ් ආසාධිතයන් හමුවෙමින් තිබෙන අතර ඔවුනගෙන් විශාල පිරිසක් රෝහල් පද්ධතිය ආශ්‍රයෙන් හඳුනා ගනිමින් තිබේ.

පළමු හා දෙවන කොවිඩ් රැලිවල දී මෙන්ම මේ මොහොතේ දී ද #කොවිඩ් රෝගීන් හා සෘජුව ගැටෙමින් කටයුතු කරනුයේ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. පළමු #කොවිඩ් රැල්ලේ දීත් ඉන්පසුවද හෙද කාර්ය මණ්ඩලය කොරෝනා මර්ධනයෙහි ලා කළ කැපකිරීම් සමහර සෞඛ්‍ය බලධාරීන්ට අමතකව ඇතිබව අප දනිමු.

තෙවන කොවිඩ් රැල්ල ඇතිවීමට ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති හා තීරණ හේතු වූ බව සත්‍ය වුවද තවමත් එම අඩුපාඩු නිවැරදි කිරීමට ඔවුන් කටයුතු කරන බවක් අප පෙනෙන්නට නැත.

ආණ්ඩුවත් සෞඛ්‍ය බලධාරීණුත් පසුගිය මාස කිහිපයතුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ලබාදෙමින් තිබූ PPE ඇතුලූ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ මෙන්ම කාර්ය මණ්ඩල ලබා ගනිමින් සිට් විශේෂ නිවාඩුද කප්පාදු කර දමන ලදි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබා දුන් සේවා මුරක්‍රමය මෙන්ම විශේෂ නිවාඩු ද අප්‍රේල් මස 30 වන දිනෙන් අවසන් කරණ බව දැණුම් දී තිබේ.

අද වන විට මෙරට රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විශාල පිරිසකට කොරෝනා ආසාධනය වී තිබේ. 2021.04.25 වන විට ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ හෙද නිළධාරීන් 07 දෙනෙකු ඇතුලූ තවත් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ශ්‍රී ලංකා ජාතික රෝහලේ ද හෙද සොහොයුරියක් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසකට කොවිඩ් වැල දී තිබේ.

එසේම සෞඛ්‍ය බලධාරීන් කොරෝනා බවට හදුනාගන්නා රෝගීන් පිළිබඳව ගනු ලබන ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද රෝහල් වලින් පැමිණිලි ලැබෙමින් තිබේ. පසුගිය 23වන දින කළුබොවිල ශීක්ෂණ රෝහලට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලෙන් කොරෝනා බවට හදුනාගත් රෝගියකු කිසිදු වගකීමකින් තොරව යොමු කිරීම නිසා කළුබෝවිල රෝහලේ දැඩි ගැටලූ ගණනාවක් ඇති කිරීමට හේතු වී තිබේ. එසේම පෞද්ගලික රෝහල් වලින් PCR පරීක්ෂණ කර කොවිඩ් බවට හදුනාගන්නා රෝගීන් නිසි ක්‍රම වේදයකට ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම නිසා කොරෝනා අසාධිතයින් දෙදෙනකු අපේ‍්‍රල් 25 දින කළුබෝවිල රෝහලට සාමාන්‍ය රෝගීන් ලෙසින් ඇතුලත්වී තිබේ.

පසුගිය මාස කිහිපය තුළ නිහඩව සිටි සෞඛ්‍ය බළධාරීන් මෙන්ම කොරෝනා පාලන මධ්‍යස්ථානයද කොරෝනාව අද ඊයේ රටට ඇතුලූ වූ වෛරසයක් සේ සිතා මහත් කළබලයෙන් කටයුතු කරන ආකාරයක් අපට පෙනෙන්නට තිබේ. කෙසේ වුවද මේ වන විට පැතිරෙමින් ඇත්තේ ඉතා බරපතල කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් බව ඉතා පැහැදිලිය.

එබැවින් මතුවෙමින් ඇති අනතුරට මුහුණ දීමේ දී ඊට සෘජුවම සම්බන්ධව කටයුතු කරන හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ආරක්ෂිතව රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුවල නියැලීමට අවශ්‍ය සියලූ උපකරණ හිගයකින් තොරව රෝහල් පද්ධතියට ලබා දීමට කටයුතු කිරීම ආණ්ඩුවේත් සෞඛ්‍ය බළධාරීන්ගේත් වගකීම බව අප පෙන්වා දෙමු.

තවද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයේ යෙදවීමේ දී මීට පෙර අවස්ථාවල අනුගමන කළ අයුරින් ක්‍රමවත් රාජකාරී සැලැස්මක් හා සේවකයන්ට ප්‍රවාහන පහසුකම්ද සහිතව ඔවුන්ව සේවයේ යෙදවීමට ආණ්ඩුව කටයුතු කළහොත් පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය පාලනයේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වඩා පහසුවක් සහිතව කටයුතු කිරීමට හැකිවනු ඇති බව පෙන්වා දීමට කැමැත්තෙමු.