රාජ්‍ය භාෂා, දහම් පාසැල් විභාග දින නියමයක් නොමැතිව කල් යයි

රාජ්‍ය භාෂා, දහම් පාසැල් විභාග දින නියමයක් නොමැතිව කල් යයි

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලුම රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.           

මීට අමතරව එම දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අනෙකුත් සියලුම විභාග ද දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන අතර එම විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දීමට නියමිතයි.

මේ අතර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් - සුනන්ද කාරියප්පෙරුම මහතා පවසා සිටියේ පවතින කොවිඩ් තත්ත්වය අනුව, මැයි 09දා පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසැල් ශ්‍රේණි විභාගයට එදිනට නොපැවැත්වෙන බවත්, එය පැවැත්වෙන දිනය පිළිබඳව පසුවට දැනුම් දෙන බවත්ය.

තවද, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව පවත්වනු ලබන 2021 දහස් සරසවිය බුද්ධ ධර්ම උසස් ඩිප්ලෝමා පාඨමාලාවට අදාලව අප්‍රේල් 30දා පැවැත්වීමට නියමිතව තිබූ ආරම්භක වැඩමුළුව සහ මැයි 08දා සියලුම දිස්ත්‍රික් මධ්‍යස්ථාන වලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යයන කටයුතු මේ වන විට දිවයින තුළ උද්ගතව තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කල්දැමීමට තීරණය කර ඇත.

එම කටයුතු යළි ආරම්භ කරන දිනයන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.