නව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

නව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත සෝදිසි අවධි - 3 (Alert Level 3) මාර්ගෝපදේශ අනුව 2021 මැයි 01 දින සිට පහත සඳහන් නියමයන් බලපැවැත්වෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

1. සමුළු (conference), සම්මන්ත්‍රණ (Seminars), රැස්වීම් (Meetings), සන්නාම දිවා හෝජන (Brand Lunches) 2021.05.21 දක්වා තහනම්ය. ඉන් පසුව පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව නැවත සමාලෝචනය කරනු ලැබේ.

2. සුපිරි වෙළඳසැල් (Super Market), මහාපරිමාණ අලෙවිහල් (Shoppers Malls), මූල්‍ය ආයතන, රෙදිපිළි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25% ක සීමාවකට යටත්වය.

3. සංවෘත ස්ථාන සහ විවෘත ස්ථානවල පවත්වන සාද අංග (Events) සහ මහජන එක්රැස් වීම් සඳහා අවසර නැත.

4. ආගමික ස්ථානවල ජනතාව එක්රැස් වීම නොකළ යුතුය.

5. සිනමා ශාලා සහ රංග ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, 'Pub', 'Bars', Casino (පබ්, බාර්, කැසිනෝ), රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන (Betting Centers) සහ සම්භාහන සේවා ස්ථාන වසා තැබේ.

6. හෝටල්, තානායම් සහ ආගන්තුක නිවාස (Guest Houses) ආදියෙහි රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මුළු ධාරිතාවයෙන් 50% ක් වන අතර රාත්‍රී 10.00 පසුව ක්‍රියාත්මක නොවිය යුතුය.

7. කානිවල්, සංගීත සංදර්ශන, වෙරළතීර සාද/ උත්සව සඳහා අවසර නැත.

8. විවෘත වෙළඳසැල්, පොළ සහ බේකරි වෙළඳසැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවයෙන් 25% යටත්වය.

9. උසාවි - මුළු ධාරිතාවයෙන් 25% දක්වා ජනතාවට පැමිණීමට අවසර ඇත.

10. බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර නැත.

11. පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන, ආධාරක (Tuition) පංති නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.

12. 2021 මැයි 04 දින සිට මැයි 20 දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැබේ.