කම්කරුවන්ට අහිමි නොකළ යුතු නමුත් අහිමි කළ මෙවර මැයි දිනය

කම්කරුවන්ට අහිමි නොකළ යුතු නමුත් අහිමි කළ මෙවර මැයි දිනය

ආණ්ඩුවක් විසින් අහිමි නොකළ යුතු නමුත්  අහිමි කළ මැයි දිනය  මෙවර ප්‍රොටෙක්ට් සංගමය විසින්ද සමරනු ලැබීය. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් එම සැමරීම සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති ආරක්ෂාකාරී සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ කොරෝනා මර්ධන නීතිරීති වලට අනුකූලව පැවැත්වීමයි.  සංගමය විසින් මෙවර "වැඩකරන ජන බලය" වෘත්තීය සමිති එකමුතුව පැවැත්වූ කම්කරු දින සැමරුමත්,  බැංකු සේවක සංගමය සහ වතු සේවා සංගමය එක්ව පැවැත්වූ කම්කරු දින සැමරුමත් නියෝජනය කරන ලදී.  කොරෝනාවට මුවාවී අහිමි කිරීමට වෙර දරන සංවිධානය වීමේ අයිතිය හා කම්කරු අයිතිවාසිකම් කප්පාදුවට එරෙහි වැඩ කරන ජනතාවගේ ජාත්‍යන්තර මැයි දින සැමරුමක් ලෙස ඒවා සංවිධානය විය.

කාලයක් තිස්සේ අරාජික වුණු, වංචා දූෂණ වලින් වලින් කප් පිට කප් ගැසූ කම්කරුවාගේ අයිතිවාසිකම් පිළිබඳ සතපහකට මායිම් නොකල මජර දේශපාලන පක්ෂ කිහිපයක් සමග කොරෝනා කාර්ය සාධන බලකායේ ලොකු තැන සහ ආණ්ඩුවේ සෞඛ්‍ය අංශ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මැයිදිනය සැමරීම නවතා දමන ලදී. එහි පුදුමයට කාරණය වූයේ ඊට පෙර දිනයේදී කොළඹ මහනගර සභාවට අයත් පිට්ටනි  අනුමත කර මැයි දිනය පැවැත්වීමට ඉඩකඩ සැලසීමෙන් පසුව ඇති වූ කෝවිඩ් අවධානම කුමක්ද යන්නයි. කෙසේ වුවද මැයි දිනය යනු ඉබාගාතේ දුවන ආණ්ඩුවලට හෝ කම්කරුවාගේ ශ්‍රම සූරා කෑමට තමන් බලයට පත් කාල වලදී උපරිමයෙන්ම සහය දක්වන ලද දේශපාලන පක්ෂ වලට අනුව තීරණය ගත හැක්කක් නොවේ. එය කම්කරුවාගේ දිනයයි. හේමාකට් චතුරශ්‍රයේ ලෙයින් තෙත් වූ භූමියේ දහස් ගණන් කම්කරුවන් විසින් දිනා දුන් අයිතිවාසිකම් පිළිබඳව කිසිදු දේශපාලනික කියවීමක් නොමැති මන්ධබුද්ධිකයන්ට මෙම මැයි දිනය  අහිමි කිරීම ගැටළුවක් නොවේ.

ආණ්ඩුව විසින් මෙම මැයි දිනය අහිමි කිරීමට හේතුව පිළිබඳව විවිධ හේතූන් සමාජය තුළ අසන්නට ලැබේ. එහි ප්‍රධාන වශයෙන් සඳහන් වූයේ ආණ්ඩුව තම නොහැකියාවන් වසා ගැනීම සඳහා මැයි දිනය තහනම් කල බවයි. එය හේතු ලෙස කියවුණේ ආණ්ඩුවට සහය දැක්වූ ප්‍රබල වෘත්තීය සමිති, පක්ෂ සහ කණ්ඩායම් මෙවර ආන්ඩුවේ මැයි දින සැමරුමට එක් නොවන බවයි. එසේම ප්‍රාදේශීව ජනතාව ආණ්ඩුව සමග මේ වන විට දැඩි කලකිරීමකින් පසු වන නිසා මේ මොහොතේ ජනතා සහභාගීත්වයද සීග්‍රයෙන් ආණ්ඩුවෙන් ඉවතට ගමන් කරමින් තිබේ. එම නිසා මැයි දිනය මේ මොහොතේ තහනම් කිරීමට හේතු වන්නට ඇත.

කෙසේ වුවද පැවැත්වූ මැයි දින සැමරුම් සියල්ලෙහිම පාහේ රැව්පිළි රැව් දුන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා කෝවිඩි වසංගතය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් එය මේ මොහොතේ ආණ්ඩුවේ හිතවතුන් පිරිසකගේ සහ ගජ මිතුරන් කිහිපදෙනෙකුගේ ජාවාරමක් බවට පත්ව ඇති බවයි. මේවායේ සත්‍යාසත්‍ය බව කෙසේ වෙතත් කම්කරුවන් කෙරෙහි නැවතත් අයහපත් කොන්දේසි පැනවෙමින් පවතී.

මක් නිසාද යත් රාජ්‍ය අංශයේ ඉල්ලීම් රැසක්ම පවතින අතර ඒවා වසංගතය හමුවේ ස්වභාවිකව දිය කර හැරීමට නියමිතය. වසන්ගතය සීඝ්‍රයෙන් පැතිරෙන බව විවිධ ටෝන් වලින් කියන පාලකයන් ඉතා අක්‍රමවත් ක්‍රමවේදයන් යටතේ පෞද්ගලික අංශයේ කම්කරුවන් ට රැකියාවට පැමිණීමට නියම කර ඇත. සමහර හාම්පුතුන් විසින් මෙම වසංගතය වසන්තයක් කර ගනිමින් අඩු සේවක ප්‍රමාණයක් යටතේ වැඩ සියල්ල කරගනිමින් පාලකයන්ගේ මැදිහත් නොවීමේ ආශිර්වාදය මැද අඩුවියදමින් වැඩි ලාභ උපයමින් සිටී. මැයි දිනය තහනම් කළද දහස් ගණන් එකට වැඩ කරන සුවිසල් කර්මාන්තශාලා වල සේවය කිරීම අනිවාර්ය වී ඇත. යම් හෙයකින් ඔවුන් රැකියාවට නොගියහොත් ඔවුන්ගේ රැකියා අහිමි වී ඇත. එසේ අහිමි වූ විට බන්දුල ගුණවර්ධනගේ සහල් න්‍යායට අනුව ජීවත් වී කැඳත් නැතිව බඩගින්නේ මියයාමට සිදුවනු ඇත. පසුගිය අවස්ථාවේ මෙන් මෙවරද වසන්ගතය හමුවේ පීඩාවට පත් කම්කරුවන් වෙනුවෙන් සැලකියයුතු වැඩපිලිවෙලක් දක්වන ආකාරයක් දක්නට නැත. ඒ වෙනුවට මොවුන් විසින් සිදු කරන ඔවුන්ට ලේසිම ක්‍රමවේදයන් ජනගත කරමින් සිටී. ඒවා පොකුරු ලෙසින් හෝ පැමිණිය හැකිය. මක් නිසාද පාලකයන්ගේ නොහැකියාවේ අර්බූධයන්ගේ චූදිතයා ජනතාව බවට පත් කරමින් සිටින නිසාවෙනි. වෛරසය තිබියදීත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් නොගෙන ක්‍රියා කිරීමට එරෙහිව හාම්පුතුන්ට එල්ල කළ යුතු විරෝධය පසුගිය රැල්ලේදී එල්ල වූයේ කම්කරුවන් දෙසටය. එය ආයෝජන කලාපයේ, කර්මාන්තශාලාවල කම්කරුවන් කෙරෙහි එල්ල කළ ආකාරයේම ජනමතය නිර්මාණය කිරීමක් මේ අවස්ථාවේ ද දැකිය හැකිය.

මෙවර කම්කරු දිනයේ ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන සටන් පාටය වූයේ  "ගෘහස්ථ කම්කරුවන්ද කම්කරුවෝය... ILO C189 රටතුළ සම්මත කරනු! ගෘහස්ථ අයිතිවාසිකම් නීතිගත කරනු!" යන්නයි. මෙය මෙවර කම්කරු දින යෝජනා 41ක් අතුරින් එකක් විය. එසේම අවිධිමත් අංශය නියෝජනය කරමින් මෙලෙස කම්කරු දින සැමරුම් සඳහා සංගමය එක් වූ පළමු අවස්ථාව මෙයයි. දිනෙන් දින රැකියා අහිමි වෙමින්, හෙට දවස පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැතිව වසන්ගතය දෙස දැඩි භියකින් බලා සිටින අවිධිමත් කම්කරුවන් වෙනුවෙන් පසුගිය වර මෙන්ම මෙවරද කිසිදු වැඩපිළිවෙලක් සකස් කිරීමට පාලකයන් අපොහොසත් වී ඇත. මෙය බරපතල ඛේදවාචකයකි. ප්‍රොටෙක්ට් සංගමයේ බහුතරයක් සාමජිකයින් වන ගෘහස්ථ කම්කරුවන් 80%කගේ පමණ රැකියා මේ වන විට අහිමි වී ඇත. අවිධිමත් අංශයේ කම්කරුන්ගේ තත්ත්වයද එසේමය. නමුත් මෙවර මහ බැංකු වාර්ථාවේද අවිධිමත් අංශයේ ආර්ථික දායකත්වය පිළිබඳව සඳහන් කිරීම තුළින් ගම්‍ය වන්නේ ඔවුන්ද මේ අර්ථිකයේ කොටස් කරුවන් බවයි. එම නිසා අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් තම රැකියා සිදු කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර රැකියා අහිමි වන්නන් සඳහා රජය මැදිහත් වූ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. මෙවර මැයි දිනයේ අපගේ තවත් ඉල්ලීමක් වූයේ, රජය මගින්  ගෘහස්ථ කම්කරුවන් ඇතුළු සියළු අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා සමාජාරක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය යන්නය.

රජය විසින් මේ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස් කළ යුතු අතර කෙටිකාලීනව මතුවන අර්බූධයන්ට පිළියම් යොදමින් එය ක්‍රියාත්මක කළ යුතුය. මක් නිසාද මේ කම්කරුවන් වසන්ගතයෙන් මෙන්ම ආර්ථිකයෙන් ද දීර්ඝකාලීනව පීඩා විඳින නිසාවෙනි. මෙම  කම්කරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් නොකළහොත් ඔවුන් වසන්ගතය නොතකා පාරට පැමිණීම වැඩි ඈතක නොවේ. පසුගිය අවස්ථාවේදීද ඔවුන්ගේ ඡන්දය ලබාගෙන පසුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ඔවුන් මේ මොහොතේද සිටින්නේ දැඩි කලකිරීමකිනි.

එසේම සමස්ත කම්කරුවන් සහ ජනතාව තේරුම් ගත යුතු කාරණයක් ඇත. එනම් පාලකයන්ට අනුව ඔබ මෝඩයන් වී හමාරය. පසු ගිය දිනෙක ඇමති ලොක්කෙක් විසින් වසන්ගතය පැතිරීමට හේතුව ලෙස ප්‍රකාශ කළේ, පාලකයන් විසින් ජනතාව බුද්ධිමත් ලෙස සිතූ බවත් නමුත් එය වැරදි බවත්ය. ඒ අනුව මෙවර වසංගතයෙ වර්ධනයේ ප්‍රධානම වැරදිකරුවන් ජනතාවය. සියළු කම්කරු සහෝදර සහෝදරියනි. ඔබට වසන්ගතය හමුවේත් දිවි පරදුවට තබා අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීමට සිදුව ඇත. යම් හෙයකින් ඔබගේ වැඩ බිම තුළ වසන්ගතය සීග්‍රයෙන් පැතිරයන විට එහි ප්‍රධාන වැරදිකරු වන්නේ ඔබයි. එයට ඔබ විරුද්ධවන කල්හි මිලිටරීකරණය විසින් එය මර්ධනය කරනු ඇත. එම නිසා පරිස්සම් වීමට සංවිධානය වන්න.   

සටහන -කල්ප මදුරංග (ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය)

1

2