දුම්රිය සේවය තුල කොරෝනා පැතිරීමේ අවධානමක්

දුම්රිය සේවය තුල කොරෝනා පැතිරීමේ අවධානමක්

රජය කොපමණ චක්‍රලේඛ නිකුත් කළ ද, ඒවාට බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීමත් ඇතැම් චක්‍රලේඛ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් අතර හා දුම්රිය මගී ජනතාව අතරත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පෙන්වා දෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොවිඩ් -19 වෛරසය රට තුල ඉතා සීග්‍රයෙන් පැතිරී යන ආකාරයට සාපේක්‍ෂව, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් අතරත් පැතිරී යාමට පටන් ගෙන ඇත. මේ වන විට රත්මලාන යාන්ත්‍රික වැඩබිම ඇතුළු වැඩබිම් ගණනාවක් ම කොරෝනා වෛරසය පැතිරී යාම නිසා වසා දැමීමට සිදුවී ඇත.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් හා 02/2021 (I) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් ලබාදී ඇති උපදෙස්, දුම්රිය දෙපාර්තමේන්තුව තුල නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට දුම්රිය බලධාරීන් අපොහොසත් වී ඇත.

දෙපාර්තමේන්තුවේ සෑම අංශයකම පාහේ පවතින අධික පුරප්පාඩු ප්‍රමානය සහ සේවක හිඟය නිසා අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමේදී, දුම්රිය බලධාරීන්ට බරපතල ප්‍රශ්න හා ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇත. සතියකට දින දෙකක් නිලධාරීන්ගේ හිමි නිවාඩු වලින් අඩු නොකර සේවයට වාර්තා නොකර සිටීමට ඉහත චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබුණ ද, නිවාඩු ගැනීමට නොහැකිව එක දිගට දින ගණනක් සේවය කිරීමට ඇතැම් සේවකයින්ට සිදුවී ඇත.

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයක් අනුගමනය නොවන අතර, දුම්රිය ස්ථාන වලට ඇතුළු වන මගී ජනතාව සඳහා සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩ පිළිවෙලක් සෑම දුම්රිය ස්ථානයකම සිදු කරන බව දුම්රිය බලධාරීන් කියා සිටියත්, එවැනි ක්‍රමවේදයක් දුම්රිය ස්ථාන වල ක්‍රියාත්මක නොවන බවද පෙන්වා දෙමු. මගීන් අතර පරතරයක් සහිතව මගී බස් රථ ධාවනය කිරීමට හැකියාවක් ඇතත්, නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා ධාවනය වන දුම්රිය තුල මගී පරතරයක් රඳවා ගැනීමට නොහැකි වී ඇත.

රජය කොපමණ චක්‍රලේඛ නිකුත් කළ ද, ඒවාට බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීමත් ඇතැම් චක්‍රලේඛ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් අතරත්, දුම්රිය මගී ජනතාව අතරත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බවද අවධාරණයෙන් පෙන්වා දෙමු.