පෞද්ගලික අංශයේ වැටුප් ගැන කම්කරු ඇමති අලුත් තීරණයක

පෞද්ගලික අංශයේ වැටුප් ගැන කම්කරු ඇමති අලුත් තීරණයක

පෞද්ගලික අංශයේ යම් සේවකයකු කොවිඩ් වසංගතයට ගොදුරු වුවහොත් හෝ නිරෝධායනයට ලක්වුවහොත් එම සේවකයාට අදාළ ආයතනය විසින් අනිවාර්යයෙන්ම වැටුප් ලබාදීමට කටයුතු කළ යුතු බව කම්කරු ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

මේ අනුව පෞද්ගලික අංශයේ ලක්ෂ 35කට අධික සේවකයන්ට පමණක් නොව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබා ඇති සියලුම සාමාජිකයන්ගේ රැකියා සුරක්ෂිත බව ඇමැතිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම කොවිඩ් 19 වසංගතය පැතිරීම නිසා රැකියාවලට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සැලැකිය යුතු කාලයක් සිටීමට සිදුව ඇති අයට වැටුපෙන් අඩක් ගෙවීමටද කම්කරු දෙපාර්තමේන්තුව, හාම්පුතුන් සහ වෘත්තිය සමිති සමඟ එක්ව කරන ලද සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

යම් පෞද්ගලික ආයතනයක් වසංගතය නිසා සති කිහිපයක් වසා දමනු ලැබුවත් වැටුප් ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුතු බව පෙන්වා දුන් කම්කරු ඇමැතිවරයා ආයතනයක් වසංගතය නිසා සැලැකිය යුතු ලෙසින් පාඩු ලබන බවට තහවුරු වුවහොත් පමණක් සේවකයන්ට අවම වශයෙන් රුපියල් 14,500ක් ගෙවිය යුතු බවද පෙන්වා දුන්නා.

මේ අතර කම්කරු අමාත්‍යාංශය පවසන්නේ යම් ආයතනයක් සේවකයකුට වැටුප් ගෙවීම පැහැර හැරියහොත් එය සිය අමාත්‍යාංශයට දැනුම් දිය යුතු බවයි.