ලංවීම සේවකයින් සඳහා  පිළියන්දල පුහුණු මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කරයි

ලංවීම සේවකයින් සඳහා  පිළියන්දල පුහුණු මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කරයි

කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙමින් පැය 24 පුරාම සමස්ත දිවයිනම ආවරණය කරමින් සක්‍රීය සේවාවක් සපයන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සුරක්ෂිතතාවය වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇත.

ඒ අනුව, සෘජුව මහජනතාව සමග සම්බන්ධතා පවත්වන හා බලාගාර, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් හා නඩත්තු, බිඳවැටීම් සේවා මූලික කරගත් සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙමින් එන්නත්කරණය පසුගිය 9 වන දා සිට ආරම්භ කළ අතර, ආයතනික වාර්ෂික රක්ෂණ ක්‍රමයට අමතර වශයෙන් රුපියල් ලක්ෂ එකහමාරක් (රු.1,50,000/-) දක්වා විශේෂ වෛද්‍ය පහසුකම් ලබාදීමත්, සියලුම සංචාරක නිවාස නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීමත්, පිළියන්දල, කලවාන, සමනලවැව, කිංචිගුණේ ලංවිම පුහුණු මධ්‍යස්ථාන, රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමත් සිදුකෙරේ.

එම වැඩපිළිවෙල යටතේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ රෝහලක් සමග එක්ව, පිළියන්දල පුහුණු මධ්‍යස්ථානය ලංවිම සේවකයින් සඳහාම වෙන්වූ රෝහලක් බවට පත්කිරීම අද දින (13) සිටම ආරම්භ කළ අතර, එය නිරීක්ෂණය කිරීම සඳහා ලංවිම සභාපති ඉංජිණේරු විජිත හේරත්, උප සභාපති නලින්ද ඉලංකෝන්, අමාත්‍ය මහජන සම්බන්ධතා හා වෘත්තීය සමිති සම්බන්ධීකාරක සමන් දිසානායක, අතිරේක සාමාන්‍යාධිකාරී සෙනජිත් දසනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කිත්සිරි කොලොන්නේ යන මහත්වරුන් සහභාගීවිය. කොවිඩ්-19 ආසාදිතයින් නේවාසික ප්‍රතිකාර සඳහා 17 වන සඳුදා සිට ඇතුළත් කිරීමට නියමිතය. (මෙම සියලු නිර්ණායක 2021-05-12 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයට යටත් වේ)