වගකීම් විරහිතව සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් සේවයේ යොදවලා

වගකීම් විරහිතව සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් සේවයේ යොදවලා

Covid-19 වෛරසය ජනතාව අතර බෝවීම වැළැක්වීම හා පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් නිකුත් කර තිබියදීත්, ඇතැම් ආයතන ප්‍රධානීන්ට හිතුමතේ ක්‍රියා කළහැකි ආකාරයට කටයුතු කිරීමට 02/2021(ii) චක්‍රලේකය ද පදනම් කරගෙන වගකීම් විරහිතව සංවර්ධන නිලධාරීන්ට හා අභ්‍යාසලාභී උපාධිධාරීන්ට Covid-19 ට අදාළ රාජකාරී ඇතුළු අවධානම් රාජකාරී පැවරීම සම්බන්ධව විරෝධය දක්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් එය නිවැරිදි කරන ලෙස ඉල්ලා ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

Covid-19 වසංගත අවධානම හා රෝගය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක සෞඛ්‍ය මාර්ගෝපදේශ හා රාජ්‍ය පරිපාලන චක්‍රලේක 02/2021/(ii) උල්ලංඝණය කරමින් සංවර්ධන නිලධාරින්ට හා අභ්‍යාසලාභී උපාධිධාරීන්ට රාජකාරී පැවරීම සම්බන්ධයෙන් ලංකාවේ විවවිධ රාජ්‍ය ආයතන මට්ටමින් වාර්තා වෙමින් පවතී.

පාලකයින් හා අදාළ අංශ ගතයුතු තීරණ වඩා නිවැරදිව 2020 පෙබරවාරි සිට ගනු ලැබුවේ නම් අද රටත් එහි ජනතාවත් සුරක්ෂිත බව අවධාරණය කරමු. පාලකයින්ගේ දුර්වලතා හේතුවෙන් රටම අවධානමකට ලක් කර ඇති වටපිටාවක ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වුවමනාවන්ට ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවය අවධානමකට හා අනතුරකට ලක් කිරීමට අපි එකඟ නොවෙමු.

Covid-19 වෛරසය ජනතාව අතර බෝවීම වැළැක්වීම හා පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් නිකුත් කර ඇත. Covid-19 වැළැක්වීම වෙනුවෙන් වුවත් ඇතැම් ආයතන ප්‍රධානීන්ට හිතුමතේ ක්‍රියා කළහැකි ආකාරයට කටයුතු කිරීමට 02/2021(ii) චක්‍රලේකය ද නිකුත් කර ඇත.

1. සෞඛ්‍ය මාර්ගෝපදේශ හා චක්‍රලේක කොතෙක් තිබුණත් ඇතැම් ආයතන ප්‍රධානීන් ඒවා නොසලකමින් අභ්‍යාසලාභී උපාධිධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අවධානම් රාජකාරීවලට යෙදවීමට අපි එකඟ නොවෙමු. නිසි සෞඛ්‍යාරක්ෂිත උපකරණ, ආරක්ෂිත ඇඳුම් හා සියලූ ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවකයින්ට දින කීපයක් තුළ එන්නත් ලබා දෙන්නේ නම් අදාළ රාජකරී කිරීමට සූදානම් බවද පෙන්වා දෙන්නෙමු. සංවර්ධන නිලධාරිනියක්, ග්‍රාම නිලධාරීවරයෙක් දැනටම Covid-19 වෛරසය වැළඳීම හේතුවෙන් මිය ගොස් ඇති අතර සැලකිය යුතු ප්‍රමාණයකට වෛරසය ආසාධනය වී ඇත.

2. බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩ සටහනට අදාළව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අතිරේකව අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල ලබා නොදී සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා නොදී එන්නත්කරණය සඳහා එන ජනතාවට සෘජුව නිරාවරණය වෙමින් වගු පිරවීම කාඩ් ලිවීම ආදී රාජකාරී වල යෙදවීම.

3. එන්නත්කරණ වැඩසහටනට අදාළ රාජකාරී සඳහා වාර්තා නොරකරන්නේ නම් සේවය අතහැර ගියා සේ සලකා ක්‍රියා කරන බවට ලිඛිතව දැනුම් දීම. එවැනි තීරණයක් ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට ඇති අයිතිය පිළිබඳව ගැටළුවක් මතුවන අතර අදාළ නොවන රාජකාරියක් පිළිබඳව එවැනි බරපතල බලපෑමක් සිදු කිරීමක් දැඩිව හෙලා දැකීම.

4. ඇතැම් දිස්ත්‍රික්කවල සංවර්ධන නිලධාරීන් සායනික රෝගීන් සඳහා නිවැස්වලට ගොස් බෙහෙත් ලබා දීමට යොදවා තිබීම හා එවැනි රාජකාරී වල වගකීම සංවර්ධන නිලධාරීන්ට සෘජුවම භාරගැනීමට නොහැකි වීම.

5. 02/2021(ii) රාජ්‍ය පරිපාලන චක්‍රලේකය නොසලකමින් ඇතැම් ආයතනවලට සතියේ දින 05 ම නිලධාරීන් කැඳවීම, සාමාන්‍ය රාජකාරී සඳහා විවිධ තොරතුරු ලබා ගැනීමට ක්‍ෂේත්‍ර මට්ටමින් නිවෙස්වලට යැවීම වැනි මේ මොහොතේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව ක්‍රියාකිරීම වැනි ගැටළු වාර්තා වෙමින් පවතී.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවා හා පළාත් රාජ්‍ය සේවා කැබිනට් අමාත්‍යාංශ ප්‍රධානියා ලෙස පහත සඳහන් ඉල්ලීම් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටීමු.

1. සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලූම ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ප්‍රමාණවත් මුව ආවරණ, විෂබීජ නාශක දියර හා සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් ඇතුළු උපකරණ ලබාදීම.

2. සියලූම ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු කාර්යාලගත නිලධාරීන්ට Covid එන්නත ලබා දීම.

ඉහත දක්වා ඇති ගැටළු හා අවශ්‍යතාවයන් පිළිබඳ රාජයේ විශේෂ අවධානය යොමු කරන මෙන් ඉල්ලන අතර අදාළ අවධානය යොමු නොකරන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද සඳහන් කරමු.