‘කොවිඩ් වසංගතය හමුවේ අනාරක්ෂිත’ රජයේ රැකියා කරන ගැබිනි මවුවරු පමණද ?

‘කොවිඩ් වසංගතය හමුවේ අනාරක්ෂිත’ රජයේ රැකියා කරන ගැබිනි මවුවරු පමණද ?

කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවීම හමුවේ නිර්මාණය වෙමින් පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් අපනයන සැකසුම් කලාප සේවක සේවිකාවන්ගේ සුබසාධනය සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන 05ක් විසින් කම්කරු අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

එම ලිපිය පහතින් දැක්වේ,

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පුද්ගලික අංශයේ ගැබිනි මාතාවන් ද සේවයට නොකැදවන ලෙස ඉල්ලා සිටීමයි.

ශ්‍රී ලංකාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින Covid-19තත්ත්වය ගර්භණී කාන්තාවන්ට කරන බලපෑම සුළු කොට සැලකිය හැකිය නොහැක.

විශේෂයෙන් ගර්භණීත්වයට සති 28 ට වැඩි කාන්තාවන්ට සහ දියවැඩියාව අධිරුධිර පීඩනය සහ වැඩි වයස්ගත වූ ගර්භණී කාන්තාවන්ට මෙන්ම වෙනත් සංකූලතා සහිත ගර්භණී කාන්තාවන්ට මෙය බෝ උවහොත් එහි අහිතකර බලපෑම සූලුපටු නොවන බව විශේෂඥ මතයයි.එපමණක් නොවේ ඔවුන් කුස දරන ළදරුවන්ට ද, සිය මවුවරුන් මගින් රෝගය සම්ප්රේෂණය වීමේ හැකියාව පවතියි. එබැවින් ගර්භණී කාන්තාවන් මෙම වෛරසයෙන් ආරක්ෂා කරගැනීම සමාජ වගකීමක් වෙයි.

රාජ්‍ය සේවයෙහි නිරත ගර්භනී කාන්තාවන් සම්පූර්ණයෙන්ම සේවයට කැඳවීම නතර කිරීමට රජය පසුගිය දිනෙක තීරණය කරන්නට ඇත්තේ ඉහත තත්ත්වයන් සලකා බැලීමෙන් පසුව විය යුතුය. එය කාගෙත් සතුටට කරුණක් වුවත් කණගාටුවට කාරණය වන්නේ එකී තීරණය රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන්ට පමණක් වීමයි. ලංකාව තුළ පුද්ගලික අංශයේ සේවයේ යෙදී සිටින කාන්තාවන් විශාල පිරිසක් සිටින නමුත් පවතින තත්ත්වයන් යටතේ ඔවුන් සේවයට වාර්තා කළ යුත්තේ කෙසේ ද නොඑසේනම් පවතින තත්වයන් පහව යන තුරු හෝ ඔවුනට සේවයට කැදවීමක් සිදු නො කරනවා ද යන්න පිළිබඳව කිසිදු කතිකාවක් හෝ තවමත් සමාජය තුළ නිර්මාණය වී නැතුවා සේම කිසිම වගකිව යුත්තකුගේ අවධානය ද මේ දක්වා ඒ කෙරෙහි යොමු නොවීමද කණගාටුවට කරුණකි.

විශේෂයෙන් නිදහස් වෙළෙඳ කලාපය තුළ සහ අනෙකුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවල ගර්භනී කාන්තාවන් බොහෝ දෙනෙක් සේවයේ යෙදී සිටින අතර ඇතැම් ආයතන මේ වන විටත් ස්වකීය ආයතන වල සේවයේ නියුක්තව සිටින ගර්භනි කාන්තාවන් සේවයට නො කැඳවීමට තීරණය කර ඇතත් ඒ හුදෙක් පාලනාධිකාරියේ තීරණයක් මත සිදුවන්නක් බැවින් සෑම ආයතනයක්ම එවැනි තීරණ වලට එළඹේ යැයි විශ්වාස කිරීම දුෂ්කරය. එසේම ඇතැම් ආයතන මෙකී තත්ත්වයන් දඩමීමා කරගනිමින් වැටුප් සහ දීමනා කපාහැර ගර්භණී කාන්තාවන්ගේ වැඩ නැවැත්වීමට පියවර ගැනීමේ අවස්ථා ද ඇතිවිය හැකිය.

අනෙක් කාරණය වන්නේ සමාජ දුරස්ථභාවය තබාගැනීම යන කාරණාව තුළදී ආයතනය තුළ කෙසේ වුවත් ඇතැම් නේවාසිකාගාර තුළ එය ඉටු කරන්නට කෙසේවත් ඉඩ පහසුකම් නොමැති වීමේ ගැටලුවට නිදහස් වෙළෙඳ කලාපවල සේවය නියුතු ගර්භණී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවෙන බව වාර්තා වී ඇත. එසේම අහිතකර සේවා තත්ත්වයන් තුළ උදාහරණයක් වශයෙන් රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් උපයෝගී කර ගන්නා ආයතන තුල සේවය කිරීම තුළින් ඇති වන්නා වූ ශ්වසනාබාධ සහ සංකූලතා මත මේ රෝගය වඩාත් ඉක්මනින් ඔවුන් කරා ළඟා වීමට ඉඩ සලසනු ඇත.

එසේම වෛරසය ආසාධනය වු සේවකයින් නේවාසිකාගාරවල දින ගනනාවක් රදවා තැබීම,ආයතන තුලදී හදුනාගන්නා ආසාධිතයා පමණක් සේවා ස්ථානයෙන් ඉවත් කිරීම මෙන්ම මෙහිදී ආසාධිතයින් සදහා නිසි වැඩ පිලිවෙලක් නොමැති වීමද රෝග ව්‍යාප්තවීමට දැනට හේතූ කාරණා සපයයි.

ඉහත තත්ත්වයන් සමනය වන තුරු හෝ පුද්ගලික අංශයේ සියලු ගර්භණී කාන්තාවන්ට ද වැටුප් සහිතව සේවයට නොකැදවීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ගනු ලබන තීරණ නියාමනය කිරීමට අවශ්‍ය කටයුතු සලස්වන ලෙසත් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

රෙඩ් සංවිධානය
ඩාබිදු සාමුහිකය.
ශ්‍රමාභිමානී කේන්ද්‍රය,
ජනකලන සමාජ අසපුව,
සවිස්ත්‍රී ජාතික කාන්තා ව්‍යාපාරය,
සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරිත්වය.