කොවිඩ් එන්නත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හා පවුලේ සාමාජිකයින්ට වහම ලබාදෙන්න

කොවිඩ් එන්නත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හා පවුලේ සාමාජිකයින්ට වහම ලබාදෙන්න

කොවිඩ් එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවය උල්ලංඝනය වන පරිදි සිදුකරන සියළුම දේශපාලන බලපෑම් වහා නැවතිය යුතු බව සහ සියළුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වල පවුලේ සාමාජිකයන් අවදානම් කණ්ඩායම් සේ සළකා සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය වෙත සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මහජනතාව තුල කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනංවා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම පිණිස මේ වන විට ශ්‍රී ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙලක් ආරම්භකර තිබේ. රටේ සමස්ත ජනතාවගෙන් ලබාදිය හැකි වයස් සීමාවල සිටින පිරිසෙන් අවම වශයෙන් 70% ක් පමණ හෝ ඉතා කෙටිකාලයක් තුල එන්නත් කර මෙම වැඩපිළිවෙල අවසන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර වසංගතය මැඩ පැවැත්වීමට ගතයුතු මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකම් වලට රජය මැදිහත් වීමත් සමාජ ක්‍රියාකාරකම් වලට මහජනතාව යොමු කිරීමත් අනිවාර්‍ය අවශ්‍යතාවයක් ‍වී තිබේ. මෙවන් වසංගතයක ව්‍යාප්ති සමය තුල කල යුතු අත්‍යාවශ්‍යම කාරණය වන්නේ එන්නත ලබා දීම සඳහා විද්‍යාත්මක පදනමක් මත ප්‍රමුඛතා ලේඛනයක් සකස් කර ඒ අනුව නියමිත කාලය තුල එන්නත ලබා දීමයි. එමගින් ‍එන්නත සම්පූර්ණයෙන් ලබාදීමට ගතවන කාලය තුලද මෙම වෛරසයේ ව්‍යාප්තිය මගින් ජනතාවට වන හානි අවම කර ගත හැකිය.

දැනට ලංකාව තුල එන්නත් ලබා දීම විවිධ මැදිහත්වීම් සහිත අතිශය දූෂිත වැඩපිළිවෙලක් බවට පත්ව තිබේ. දේශපාලඥයන් මෙන්ම නිළධාරීන්ද තමන්ට ඇති බලතල යොදා ගනිමින් තම ඥාති හිතමිතුරන්ට ප්‍රමුඛතා ලේඛනවලට පිටතින් එන්නත් ලබා දීම සිදුකරයි. ඒ පිළබඳව ජනතාව අතර අවස්ථා ගනනාවකදී ගැටුම් පවා සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වන විට සෞඛ්‍ය සේවය තුල ඇති වෘත්තීය සංගම් කීපයක්ද එම ක්‍රමවේදයම උපයෝගී කර ගනිමින් ගෝත්‍රික ස්වරූපයෙන් තමන්ගේ හිතවතුන් සඳහා පමණක් කොවිඩ් එන්නත් ලබා දීමේ පහත් උත්සාහයක නිරත වෙමින් තිබේ. මෙවැනි මැදිහත්වීම් මත සෞඛ්‍ය සේව‍ාවේ විවිධ ශ්‍රේණි අතර විරසකයන් වර්ධනය වෙමින් තිබෙන අතර මේ මොහොතේ ඔවුන් අතර ගැටුමක් ඇතිවුව හොත් එය කොවිඩ් මර්ධන කටයුතු වලට අහිතකර ලෙස බලපානු ඇත.

කෙසේ වෙතත් රට තුල අත්‍යාවශ්‍ය ප්‍රමුඛතා ලේඛනයක් සකස්කර එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කලයුතු බවත් එයට සෞඛ්‍ය සේවාවේ නියුතු ‍ලක්ෂ එකහමාරක් පමණ වන සියළුම සාමාජිකයන්ටත් ඔවුන්ගේ පවුලේ (අවම වශයෙන් නි‍වසේ වාසය කරන) සාමාජිකයන්ටත් මෙම එන්නත සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් අවධාරණය කරමු. එසේ නොකරන්නේ නම් නිරන්තරව කොවිඩ් ආසාදිතයන් සමග කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් හරහා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ආසාදනය වීමටත් ඒ හේතුවෙන්ම රෝගී සත්කාර කටයුතු අඩපණ වීමත් අනිවාර්‍යයෙන්ම සිදු වනු ඇත.