“ළඟම පාසල හොඳම පාසල“ ව්‍යාපෘතියේ මුදල් වලට මොකද උනේ

“ළඟම පාසල හොඳම පාසල“ ව්‍යාපෘතියේ මුදල් වලට මොකද උනේ

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ පාසල් 700 ක වැඩ නවතී - ව්‍යාපෘති කාර්යාලය වසා දමලා රුපියල් මිලියන 64950 කට සිදුවූයේ කුමක්ද ? යන්න විමසීමක් කරමින් ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්ණ කර සිටි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පසුගිය රජය යටතේ පාසල් සංවර්ධනයේ ප‍්‍රධාන ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කළේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 64950 ක් වෙන් කර තිබුණි. පාසල් 9063 ක ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘති 18000 ක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබුණු අතර, කි‍්‍රයාත්මක වීම 2016 වසරේ සිට 2020 වසර දක්වා වසර 4 ක කාලයකට සැලසුම් කර තිබුණි.

වර්තමාන රජය බලයට පැමිණීමත් සමග මෙම ව්‍යාපෘතිය ක‍්‍රමානුකූලව අත්හැර දමා ඇති අතර, මේ වන විට පාසල් 700 කට වැඩි සංඛ්‍යාවකට ඉදිකිරීම් කටයුතු ඇතුළු සියලූ කටයුතු නරත වී ඇත. මේ වන විට ගොඩනැගිලි කොන්ත‍්‍රාත් කරුවන් පාසල්වලින් තම උපකරණ ද ඉවත් කොට ගෙන ඇති අතර, පාසල් ගණනාවක ඉදිකිරීම් අත්හැර දමා ඇති අතර, එසේ අත්හැර දැමූ ගොඩනැගිලි පාසල්වලට බරපතල බරක් වී ඇත. සමහර ගොඩනැගිලි ඉදි කරන ලද්දේ පැවති ගොඩනැගිලි ඉවත් කිරීමෙන් පසු නව ගොඩනැගිලි ඉදිකිරීම යටතේය. ඒ අනුව ඉඩකඩ පිළිබඳ ප‍්‍රශ්න ද පාසල් තුළ මතු වී ඇත. මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති කාර්යාලය ද මේ වන විට වසා දමා ඇත.

මෙම ව්‍යාපෘතියේ 40% ක මුදලක් 2016 වසරේ දීම පළාත් සභාවලට නිදහස් කර තිබුණි. මෙම ව්‍යාපෘතිය තුළ සිදු වූ සමහර වංචා සහගත තත්වයන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට ද පැමිණිලි කොට ඇත. නිදසුනක් ලෙස නාච්චදූව සිංහල ප‍්‍රාථමික විද්‍යාලය නමින් පාසලක් නොමැති අතර, ඒ සඳහා ගොඩනැගිල්ලකට මුදල් වෙන් කිරීම ද, තිරප්පනේ මහානාම විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකට රුපියල් මිලියන 24 ක් වෙන් කොට තිබුණ ද මේ වන විට එහි ඇත්තේ මුල්ගලට හාරන ලද වල පමණක් වීම දැක්විය හැකිය. මෙම කරුණු මෙන්ම උතුරුමැද පළාතේ මෙම ව්‍යාපෘතියට අදාළ පාසල් 2020 ක කරුණු සම්බන්ධයෙන් විගණනක් ද සිදු කොට ඇත.

ජනතාවගේ බදු මුදලින් මේසා විශාලා ව්‍යාපෘතියකට වෙන් කළ මුදල් මෙසේ අවභාවිත වීමට ඉඩ හැරීම බරපතල ගැටලූවකි. රජයන් වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති නරත කිරීම හෝ අතහැර දැමීම මහජන මුදල් අවභාවිත කිරීමකි. වත්මන් ආණ්ඩුව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට ජාතික පාසල් දහසක් ප‍්‍රතිනිර්මාණය කිරීම නමින් ව්‍යාපෘතියක් පෙරට දමා පාසලකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් ලබාදෙන බව පවසමින් පාසල් පුවරු පමණක් ලබාදෙමින් තිබෙන්නේ රුපියල් මිලියන 64950 ක ව්‍යාපෘතියක් නිසි ඇගයීමකින් තොරව අතහැර දමමිනි.

කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් නොගෙවීම් ඇතුළු වෙනත් හේතු මත පාසල්වල ඉදිකිරීම් අතරමග ඇණහිටින තත්වය පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු අතර, නිසි ඇගයීමකින් තොර ප‍්‍රචාරණවාදී ව්‍යාපෘති වෙනුවට අධ්‍යාපන පද්ධතියට ඵලදායී වන කි‍්‍රයාකාරීත්වයකට යාම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.