නව කොළඹ වරාය නගර නීතිය පිළිබඳව රඳා පවතින බරපතල ගැටළු

නව කොළඹ වරාය නගර නීතිය පිළිබඳව රඳා පවතින බරපතල ගැටළු
  • අනුගමනය කරනු ලැබූ ඉක්මන් ක්‍රියාවලිය හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය විය.
  • සංශෝධනය කරන ලද පනත් කෙටුම්පත සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයින්ට ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙන ලදී.
  • අක්වෙරළ බැංකු සහ සමාගම් ස්ථාපනය කිරීම සහ ඒවා පිලිබඳ සීමිත අධීක්ෂණය වරාය නගර මුදල් විශුද්ධිකරණයට සහ නීති විරෝධී මුල්‍ය ප්‍රවාහයන්ට අත වැනීමක් වනු ඇත.
  • ව්‍යාපාර සහ සමාගම් හි සැබෑ හිමිකරුවන් පිළිබඳ මහජනතාවට ලැබෙන තොරතුරු සීමිත වීම හේතුවෙන් වරාය නගරය, අපරාධවලින් උපයා ගන්නා දේපළ සඳහා සුරක්ෂිත පරිසරයක් ඇතිකරන රහස්‍ය බල ප්‍රදේශයක් බවට පත් විය හැක.
  • වරාය නගරය හේතුවෙන් ශ්‍රී ලංකාව, මුල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ කාර්ය සාධක බලකාය විසින් අවතක්සේරුවට ලක් කිරීමේ අවධානමට මුහුණ දේ.

2021 මැයි මස 20 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් කොළඹ වරාය නගර ආර්ථික පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත කරන ලදී .පනත් කෙටුම්පතට චන්දය ප්‍රකාශ කිරීමට දින දෙකකට පෙර පාර්ලිමේන්තු කථා නායකවරයා විසින් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු නියෝජිතයින්ට සහ මහජනතාව වෙත දැනුම් දෙනු ලැබීය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ද වරාය නගර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ එක් පෙත්සම්කාර පාර්ශවයකි. TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නා නමුත් මෙම නීතියේ නොවිසදුනු ගැටළු පිළිබදව දැඩි අවධානයෙන් පසුවේ.

නීති සම්පාදනය ආරම්භයේදීම එහි ඉක්මන්කාරී බව පිළිබඳව සැලකිල්ලට ලක්විය යුතු අතර එය ශ්‍රී ලාංකීය පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරාගැනිමකි. මෙම යෝජිත කෙටුම්පත මුලදීම ගැසට් පත්‍රයට ඇතුලත් නොකළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා මහජන අදහස් ලබාගැනීමට හෝ මහජන සමාලෝචනයකට අවස්ථාවක් ද නොතිබුනේ, රටේ තුන්වන කොවිඩ් රැල්ල උච්චතම ලෙස පවතින අතරතුරදී පනත් කෙටුම්පත විවාදයට ලක් කර ඒ වහාම එය සම්මත කර ගත් බැවිනි. මෙම තීරණාත්මක පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ලබා ගත් කෙටි කාල පරාසය තුළින් ඉස්මතු කරන්නේ, රටට දීර්ඝකාලීනව බලපෑම් ඇති කළ හැකි නීතියක් පැනවීමේ මෙම වෑයමේදී, ව්‍යවස්ථානුකූලව සහතික කර තිබෙන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතියට ගරු කිරීමක් සිදු නොවූ බවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන්ට පවා මෙම කෙටුම්පතට ඇතුලත් කරන ලද සංශෝධන පිළිබදව පූර්ණ සමාලෝචනයක් කර දැනුවත් වූ තීරණයක් ගැනීමට ප්‍රමාණවත් කාලයක් මෙම ක්‍රියාවලිය හරහා ලබා නොදුන් බව TISL ආයතනය දැඩි සැලකිල්ලකින් යුතුව අවධාරණය කර සිටී.

පනත් කෙටුම්පතට එරෙහිව TISL ආයතනය ඉස්මතු කරන ලද එක් මූලිකම කරුණක් වුයේ, අක්වෙරළ බැංකු සහ සමාගම් ස්ථාපනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණයට සහ නීතිවිරෝධී මුල්‍ය ප්‍රවාහයන්ට පසුබිම සැකසීමයි. 2005 අංක 25 දරණ ත්‍රස්ත මූල්‍ය මර්දන සම්මුතිය පිළිබද පනත, 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, 2006 අංක 6 දරණ මූල්‍ය ගණුදෙනු වාර්තාකරණය පිළිබඳ පනත, කොළඹ වරාය නගරයේ පරිපාලන ප්‍රදේශයට අදාල වන බව පැහැදිලි ලෙස ප්‍රකාශ කරමින්, මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය යම් පමණින් නිරවුල් කරන ලදී. කෙසේ වුවද, අක්වෙරළ සමාගම් කෙරෙහි සමාගම් රෙජිස්ට්‍රාර් වෙත ඇත්තේ ඉතා සීමිත බලතල ප්‍රමාණයක් වන අතර, මෙම අක්වෙරළ මූල්‍ය ආයතන (බැංකු) සඳහා බැංකු පනත අදාල වන්නේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කර නැත.

මෑතකදී බලාත්මක කරන ලද වරාය නගර කෙටුම්පත මඟින් වරාය නගරයේ ක්‍රියාත්මක වන සමාගම් වලට, එම සමාගම් වල සැබෑ හිමිකරුවන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම අනිවාර්ය කර නැත. සමාගම් වල හිමිකාරීත්වය අවසාන වශයෙන් සතු වන පුද්ගලයින් කවුරුන්ද යන තොරතුරු හෙළිදරව් කිරීම ත්‍රස්ත මූල්‍යකරණය සහ මුදල් විශුද්ධිකරණයට නිත්‍යානුකූල ප්‍රභවයන් භාවිතා කිරීම වැළැක්වීමේ මූලිකම ක්‍රමවේදයයි. නීති බලාත්මක කරන ආයතනවලට එවැනි තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාව තිබුණද, මහජන ප්‍රවේශය සීමිත වීම තුලින් එම ආයතන පිළිබඳ මහජන අධීක්ෂණය අවම මට්ටමක පැවතීම නිසා නීති විරෝධී ගණුදෙනු කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත. සමාගම් වල සැබෑ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු වලට මහජනතාවට ප්‍රවේශ විය හැකි වීම හොඳ භාවිතයක් පමණක් නොව, නීතිවිරෝධී ගණුදෙනුවල ප්‍රවනතාවයන් නිරීක්‍ෂණය කිරීමටත් ඒවා පිලිබඳ අනතුරු හැඟවීමටත් එය ඉඩ කඩ සලසයි.

වරාය නගරය හරහා කළු සල්ලි ඇද ගැනීමේ සහ ඒවාට පහසුකම් සැපයීමේ අවධානම වර්ධනය වීම හේතුවෙන් , ශ්‍රී ලංකාව මුල්‍ය කාර්ය සාධක බලකායේ (FATF) ශ්‍රේණිගත කිරීම් වලින් පහතට ඇද වැටීමේ අවධානම පවතින අතර ඒ හේතුවෙන් රටට විදේශ ආධාර, ණය සහ නිත්‍යානුකූල ආයෝජනයන් ලබා ගැනීම කෙරෙහි අහිතකර බලපෑම් එල්ල විය හැකිය.

Tax Justice Network සංවිධානයට අනුව ලෝකය පුරා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 21 සිට 32 දක්වා තක්සේරු ගත කරන ලද බදු නොගෙවන ලද
මුල්‍යමය ධනයක් රහස්‍ය අක්වෙරළ බල ප්‍රදේශ තුළ රඳවා ඇත.

මෙම අක්වෙරළ බල ප්‍රදේශ, ආයතනික බදු අවභාවිතය, පෞද්ගලික හා ප්‍රාග්ධන බදු ගෙවීම පැහැරහැරිම සහ දේශ සිමාවන් හරහා සිදු කෙරෙන නීති විරෝධී මුල්‍ය ප්‍රවාහයන්ටද හේතු වේ. 2021 ජූනි මස 24 වන දින පැවැත්වීමට නියමිත දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ මහා සභාවේ විශේෂ සැසිය (UNGASS) අරමුණු කර ගනිමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය (TI) විසින්, දේශසීමා හරහා සිදුවන දුෂණයන්ට සහ අනෙකුත් අපරාධයන්ට පහසුකම් සලසන නිර්නාමික සමාගම් සහ අනෙකුත් නීතිමය වාහන භාවිතය නතර කරන මෙන් ඉල්ලා මහජන සුබසිද්ධිය උදෙසා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. සමාගම් වල සැබෑ හිමිකරුවන් පිළිබඳ අන්තර්ජාලීය පොදු ලේඛනයක් සැකසීම සඳහා දැඩි ප්‍රතිපත්තියක් ඇති කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ඒ හරහා පොළඹවනු ලබයි.

2006 වර්ෂයේ සිට පැනමා ලේඛන සහ පැරඩයිස් ලේඛන හෙළිදරවු වීමෙන් පසුව, සමාගම් වල සැබෑ හිමිකරුවන් හඳුනාගැනීමෙන්, අපරාධයන්ගෙන් උපයා ගන්නා දේපළ සඟවා ගැනීමට, මහජන මුදල් සොරකම් කිරීමට සහ බදු පැහැර හැරීමට ලොව පුරා ඇති සමාගම් වලට හැකියාව සලසන අනාවරණය නොවූ සංවිධානාත්මක දුෂණයන් සහ නීතිමය ආයතනයන් තුරන් කර දැමීමට හැකි වනු ඇතැයි TI ආයතනය අපේක්ෂා කරයි.

TISL ආයතනය කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නේ, සමාගම් වල සැබෑ හිමිකරුවන්ගේ තොරතුරු වල විනිවිදභාවය ඇති කිරීම හරහා නීති විරෝධී මුල්‍ය ප්‍රවාහයන් මැඩපැවැත්වීමට ලෝකයේ රටවල් එකට එක් වී දැඩි වෑයමකින් කටයුතු කරන කාල සීමාවක, ශ්‍රී ලංකාව විරුද්ධ දිශාවට අඩියක් ගෙන ඇති බවයි. එනම්, වරාය නගර පනත හරහා නීති විරෝධී මුදල් ප්‍රවාහයන් සම්බන්ධ ගැටළු මැඩලීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයන් නොගන්නා මූල්‍යමයය කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කර ඇති බවයි.