මේ වන විට සෞඛ්‍ය ආයතනවලට කොවිඩ් රෝගීන් දරාගැනීමට හැකි ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බව ද සෞඛ්‍ය සේවකයන් පවා ආසාදිතයන් බවට පත්වෙමින් ඇති බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා. එහෙත්, රජය ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා ප්‍රමාණවත් පහසුකම් ලබා නොදෙන බව ද ඔහු පෙන්වා දෙනවා.
මෙම ගැටලු සම්බන්ධයෙන් රජය නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඊයේ සහ අද දින රෝහල්වල හෙද විරෝධතාවක් පැවැත්වුණා.
ඔවුන්ගේ ඉල්ලීම් වුණේ මේවායි:
රජය පවසන පරිදි ආණ්ඩුවට ඇති තරම් අරමුදල් ආදිය තිබෙන නිසා මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වෙනවා නම්, එයට ප්‍රධාන හේතුව නිලධාරීන්ගේ අකාර්යක්ෂමකමයි. සෞඛ්‍ය සේවකයන් වර්ජනවලට පොළඹවන්නේ නැතුව මෙම ප්‍රශ්න විසඳාගන්නට හැකියාව තිබෙනවා. මේ ප්‍රශ්න බොහොමයක් ඉතා පහසුවෙන් විසඳීමේ හැකියාව නිලධාරීන්ට තිබෙනවා. එසේ නොකිරීමට තමයි රාජ්‍ය නිලධාරිවාදය කියන්නේ.
මේ වන විටත්, හෙද හෙදියන් පීසීආර් ගැනීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද යෙදී සිටිනවා. එයින් වෛද්‍යවරුන්ට පැටවෙන බර වැඩි වීම නිසා එය සෞඛ්‍ය සත්කාර සේවාවලට බලපානවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද වෘත්තීය ගැටලු ගැන නිතර මැසිවිලි නගනවා. නිසි සේවා තත්වයන් ලබා නොදීම තමයි අරගලවලට හේතුව. සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ වෘත්තීය අවුල් ජාලයක්. එහි විවිධ ශ්‍රේණි අතර විෂමතා හා ගැටුම් රැසක් තිබෙනවා. එහෙත්, ඒ සියල්ලම මැද රටේ සෞඛ්‍ය පහසුකම් ඉහළ මට්ටමක තබන්නට සෞඛ්‍ය සේවකයන් සමස්තයක් ලෙස දක්වා තිබෙන දායකත්වය ඇගයිය යුතුයි.
මේ මොහොතේ මේ රටේ රජයේ සේවයන් අතරින් ක්‍රියාත්මක වන්නේ අතළොස්සක් පමණයි. එසේ වැඩකරන අයට පහසුකම් සැපයීම අත්‍යවශ්‍යයි. හරිහමන් අන්දමින් මුඛ ආවරණයක්වත් සපයන්නේ නැති වූ විට හා ඔවුන්ගේ දුක්ගැනවිලිවලට නිලධාරීන් සවන් නොදෙන විට ඔවුන් වර්ජනවලට යොමුවීම පුදුමයක් නොවෙයි.
(praja.lk)
