සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයට වසර දහයක් - විෂය අධ්‍යක්ෂකවරු පත්කර නෑ

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයට වසර දහයක් - විෂය අධ්‍යක්ෂකවරු පත්කර නෑ

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ආරම්භ වී වසර 10 කට වැඩි කාලයක් ගතව තිබියදීත් විෂය අධ්‍යක්ෂවරු පත් කිරීමට කටයුතු සිදු වී නොමැති බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයට අනුව,

2021.06.04 දිනැති ගැසට් පත‍්‍රය මගින් ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගයට අයඳුම්පත් කැඳවා ඇත. එම ගැසට් නිවේදනයේ අංක 01 හි ආ යටතේ වගු අංක 01 මගින් එක් එක් විෂයයන්ට අදාළව පවතින පුරප්පාඩු දක්වා ඇත. එම පුරප්පාඩු සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයේ පුරප්පාඩු ඇතුළත් කර නැත. මීට හේතු වී ඇත්තේ එම විෂයට අදාළ විෂය අධ්‍යක්ෂ තනතුර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරවා නොගැනීමයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අමතමින් 2017.06.30 දින යොමු කරන ලද ලිපියකින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දන්වා ඇත්තේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සඳහා තනතුරක් අනුමත කරවා ගැනීම සුදුසු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බවයි. එසේ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම අවධානය යොමුකර තිබියදීත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊට අදාළ කටයුතු සිදු කර නැත.

මේ තත්වය තුළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය කටයුතු ආවරණය කරනු ලබන්නේ වෙනත් විෂයයන් සඳහා සිටින විෂය අධ්‍යක්ෂවරු විසිනි. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂ්‍ය සාමාන්‍ය පෙළ සිසුන් සඳහා 2006 වසරේ ආරම්භ වූ අතර, උසස් පෙළ සිසුන් සඳහා 2008 වසරේ දී ආරම්භ විය. ප‍්‍රථම වරට සාමාන්‍ය පෙළ විභාගය සඳහා 2008 වසරේත්, උසස් පෙළ විභාගය සඳහා 2010 වසරේත් සිසුන් මෙම විෂය සඳහා පෙනී සිටින ලදී. මෙම විෂය උසස්පෙළ සඳහා ආරම්භ වී වසර 10 කට වැඩි කාලයක් ගත වී ඇති අතර, මෙය සිසුන් අතර ජනපි‍්‍රය විෂයක් වී ඇත. එබැවින් 30,000 කට ආසන්න සිසුන් පිරිසක් මෙම විෂය හදාරන අතර, විෂය උගන්වන ගුරුවරු 1000 ක් පමණ පාසල් පද්ධතිය තුළ සිටිති.

මෙම තත්වය තුළ උක්ත ගැසට් නිවේදනය සංශෝධනය කර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයේ විෂය අධ්‍යක්ෂ තනතුරු සඳහා වන පුරප්පාඩු සඳහා ද අයඳුම්පත් කැඳවන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.