කම්කරු ගැටළු උග්‍රයි - සාකච්ඡාවක් වහාම ලබාදෙන්න

nimal-siripala-de-silva

සංචරන සිමාවන් ක්‍රියාත්මක වුවද පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයින් සේවයට කැඳවිමට ආණ්ඩුව ආයතන හිමියන්ට අවසර ලබා දි ඇති අතර, එම කර්මාන්ත ශාලාවල සේවය කරණ සේවකයින්ට බලපාන ගැටළු නිරාකරණය කර ගැනිමට ඇති කම්කරු දෙපාර්තමේන්තුව සහ එයට අයත් සියළුම කාර්යාල වසා දමා ඇති අතර, දැනට පවතින සේවක ආරවුල් විසඳා ගැනීමට සේවකයින්ට නොහැකිව ඇති තත්ත්ය යටතේ කම්කරුවන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති තත්ත්වයත් තුළ ඒ සම්බන්ධව හා මතුවී ඇති අනෙකුත් ගැටලු වලට සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට වෘත්තීය සමිත් 11ක් කම්කරු අමාත්‍යවරයා සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යවා ඇත.

එම ලිපියේ සඳහන් කරුණු වන්නේ, මෑතක සිට කම්කරු අමාත්‍යංශය විසින් අනුගමනය කරන කම්කරුවන්ට අහිතකර ක්‍රියාවන් පිළිබඳව (2021 ජූනි මස 12) වන දින ZOOM තාක්‍ෂණය ඔස්සේ පහත නම් සඳහන් වෘත්තීය සමිති පවත්වන ලද සාකච්ඡාවේ දි ගන්නා ලද තීරණ ඔබ වෙත ලියා දැන්වීමට තීරණය කළෙමු.

ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීම්වල න්‍යාය පත්‍රයට වැදගත් කරුණු යෝජනා කිරීමට එහි නියෝජනය කරණ සංවිධානවලට අයිතියක් තිබූ අතර එයේ කරන යෝජනා මීළඟ ජාතික කම්කරු උපදේශක සභා රැස්විමේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරන ලදී.

එහෙත් 2021 ජූනි මස 14 වන දින රැස්වීමට නියමිත ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් යොජනා 3 ක් න්‍යාය පත්‍රයට ඇතුලත් කරන ලෙස ලිඛිතව ඉල්ලා ඇත. නමුත් එම යෝජනා 3 න් 2 ක් න්‍යාය පත්‍රයට ඇතුලත් නොකරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් මහතා උපදෙස් දී ඇති බව වාර්ථා වි ඇත.

ව්‍යවස්ථාපිත දීමනාවක් වන අර්ථ සාධක අරමුදලට මාසිකව මුදල් තැන්පත් කිරීම මාස 6 ක් දක්වා කාලයක් තැන්පත් කිරිම ප්‍රමාද කිරිමට කම්කරු කොමසාරිස් ජනරාල් මහතා ආයතන හිමියන්ට අවසර ලබාදීම. අප දන්නා පරිදි අර්ථ සාධක අරමුදල් පනත යටතේ ඇති විධි විධාන අනුව කම්කරු කොමසාරිස් ජනරාල් මහතා හට කිසිම බලයක් නැත.
සංචරන සිමාවන් ක්‍රියාත්මක වුවද පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයින් සේවයට කැඳවිමට ආණ්ඩුව ආයතන හිමියන්ට අවසර ලබා දි ඇත. එසේ වුවද එම කර්මාන්තශාලාවල සේවය කරණ සේවකයින්ට බලපාන ගැටළු නිරාකරණය කර ගැනිමට ඇති එකම මධ්‍යස්තානය වන කම්කරු දෙපාර්තමේන්තුව සහ එයට අයත් සියළුම කාර්යාල වසා දමා ඇත. එම නිසා දැනට පවතින සේවක ආරවුල් විසඳා ගැනීමට සේවකයින්ට නොහැකිව ඇත.

එම තත්ත්වය සළකා කම්කරු දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍යය සේවාවක් ලෙස ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.

2021 ජූනි මස 02 වන දින රැස්වූ ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටු රැස්වීමේ දී සේවයට නොකැඳවන සේවකයින් සඳහා 2021 ජූනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වන වැටුප් ක්‍රමවේදය 2021 දෙසැම්බර් මස දක්වා දිර්ඝ කිරිමට සේවා යෝජක නියෝජිතයින් කරන ලද යෝජනාවට එම කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිතිවල බහුතරයක එකඟතාවයක් නොතිබුණු බැවින් එම යෝජනාව පිළිබඳව අදහස් අනෙකුත් ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති වලින් විමසීමට එම සභාවේ දී තීරණය කළ ද, එම වැටුප් ක්‍රමවේදය දෙසැම්බර් දක්වා දීර්ඝ කිරිමට ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටුව තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල් මහතා විසින් 2021 ජුනි මස 06 වන දින ලංකාදීප පුවත් පතේ වෙබ් අඩවියේ “පුද්ගලික අංශයේ පඩි ගෙවන්න දුන් සහනය දෙසැම්බර් තෙක් දික් කරයි” යනුවෙන් පල කර තිබුණී. එය නිවැරදි කරන මෙන් ත්‍රෛපාර්ශවිය කාර්ය සාධක බලකා කමිටුව නියෝජනය කරන වෘත්තිය සමිති සියල්ලම 2021 ජූනි මස 07 වන දින දරණ ලිපිය මගින් ඉල්ලා සිටිය ද එවැනි ප්‍රකාශයක් කිරිමට කම්කරු කොමසාරිස් ජනරාල් මහතා අපොහොසත් ව ඇත.

කම්කරු අමාත්‍යංශය විසින් අනුගමනය කරන ඉහත දැක්වෙන ක්‍රියා පිළිවෙත් පිළිබඳව අප්‍රසාදය පල කිරිමට තීරණය කළ පහත නම් සඳහන් වෘත්තිය සමිති 2021 ජූනි මස 14 වන දින පැවැත්වීමට නියමිත ජාතික කම්කරු උපදේශක සභා රැස්වීම ආරම්භයේ දීම ඒවා පිළිබඳව සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටීමට තීරණය කරණ ලදී.

  1. නිදහස් සේවක සංගමය
  2. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
  3. අන්තර් සමාගම් සේවක සංගමය
  4. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය,
  5. ලංකා වෘත්තීය සමිති සම්මේලනය
  6. එක්සත් කම්කරු සම්මේලනය
  7. ලංකා බැංකු සේවක සංගමය
  8. ජාතික සේවක සංගමය
  9. ලංකා කම්කරු කොන්ග්‍රසය
  10. ලංකා වතු සේවක සංගමය
  11. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය