ජනතාව පීඩනයට පත් නොකොට ඉන්ධන මිල අඩු කරනු

wedakarana-janabalaya

2020 වසරේ ලොව පුරා කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග ලෝක වෙළඳපොළේ තෙල්මිල ඍණ අගයක් ගත් අතර, එම අවස්ථාවේදී තෙල් මිල අඩු කිරීමට කටයුතු නොකළ වත්මන් ආණ්ඩුව ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති තත්වය තුළ මැති ඇමතිවරුන්ට සැප වාහන ආනයනය, කායවර්ධන මධ්‍යස්ථාන සැකසීම, අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි හදිසියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා මුදල් ආයෝජනය කරමින් සිටීන අවස්ථාවක වැඩි කළ ඉන්ධන මිල වහාම අඩුකරන ලෙස ඉල්ලා සිටිමින් “වැඩකරන ජනබලය“ වෘත්තීය සමිති එකමුතුව විසින් රජයෙන් ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජීවන වියදම් අනු කමිටුව විසින් තීරණය කළේ යයි පවසමින් මේ වන විට ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දමා ඇත. කෝවිඩ් 19 වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත් පිරිමසා ගත නොහැකිව සිටින ජනතාවට මෙසේ තෙල් මිල ද ඉහළ දැමීම සැලසුම් සහගතව සිදුකළ මරු පහරකි. කෝවිඞ් 19 තත්වය මත සංචරණ සීමා පනවා තිබියදී තම දෛනික රැකියාවන් හෝ ආදායම් මාර්ගවල නිරත වීමට නොහැකිව සිටින අඩු ආදයම් ලාභී ජනතාවට කිසිදු හව්හරණයක් නොතිබියදී මේ ආකාරයෙන් තෙල් මිල ද ඉහළ දැමීම තුළ සිදුවන්නේ තවදුරටත් වැඩිවන බඩු මිල ඉදිරියේ බඩගින්නේ සිටීමටය.

භූමිතෙල් මිල ද රු.7/- කින් ඉහළ දැමීම තුළ භූමිතෙල් භාවිතයේ යෙදෙන වතු සහ ධීවර ජනතාව දැඩි පීඩාවකට පත්වේ. සමස්ත වැඩකරන පන්තියෙන් බහුතරයක් තම ප‍්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරනුයේ මෝටර් සයිකල්, තී‍්‍රවිලර් වැනි වාහනය. පෙට‍්‍රල් මිල රු.20/- න් වැඩි කිරීම තුළ එය වැඩකරන පන්තියේ බහුතරයකට ඍජුවම බලපාන අතර, සමස්තයක් ලෙස ජනතාවගේ ජීවන බර කිහිප ගුණයකින් ඉහළ යාම මෙම ඉන්ධන මිල ඉහළ යාම තුළ වැලැක්විය නොහැකිය. මේ තත්වය තුළ මෙම ඉන්ධන මිල ඉහළ යාම දැඩිව බලපානුයේ මෙරට වැඩකරන ජනතාවටය.

කෝවිඩ් 19 වසංගතය තුළ පීඩාවට පත් තම රටවල ජනතාවට අනෙකුත් සෑම රටකම ආණ්ඩු විසින් විවිධ සහන සලසමින් තිබියදී ලංකාවේ වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් ජනතාවට පීඩනයට පත් කිරීම තුළින් පැහැදිලි වන්නේ රටේ ජනතාවගේ ජීවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගේ වගක් නැති බවයි. තෙල් මිල වැඩි කළා පමණක් නොව ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගෙන් සමන්විත ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ විසින් තෙල්මිල වැඩිකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ප‍්‍රකාශ කිරීම තුළින් පෙන්නුම් කරන්නේ තවදුරටත් ජනතාව නොමග යවා ජනතා විරෝධය ද හකුලා දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි. උදය ගම්මන්පිල පමණක් නොව සමස්ත ආණ්ඩුවම ජනතාවට එල්ල කළ මෙම මරණීය ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුය.

2020 වසරේ ලොව පුරා කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග ලෝක වෙළඳපොළේ තෙල්මිල ඍණ අගයක් ගත් අතර, එම අවස්ථාවේදී තෙල් මිල තඹ සතයකින්වත් අඩු කිරීමට කටයුතු නොකළ වත්මන් ආණ්ඩුව ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති තත්වය තුළ මැති ඇමතිවරුන්ට සැප වාහන ආනයනය, කායවර්ධන මධ්‍යස්ථාන සැකසීම, අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි හදිසියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා මුදල් ආයෝජනය කරමින් සිටී. මෙවැනි දේ සඳහා මුදල් වෙන් කරමින් සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ තෙල්මිල වැඩි කළේ රටේ මූල්‍ය ස්ථාවරයට බලපෑමක් ඇතිවීම වැලැක්වීමට බවයි.

තෙල්මිල වැඩි කිරීම හා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජිතයන් විසින්ම සිදු කරන මෙවැනි ප‍්‍රකාශවලින් පැහැදිලි වන්නේ තෙල් මිල ඉහළ දැමීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතවම සිදුකර ජනතාව රැවටීමට ද සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි.

මේ තත්වය තුළ ඉහළ දැමූ ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩකරන ජන බලය ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.