වතු කම්කරුවන්ගේ ගැටළු කඩිනමින් විසඳාගැනීමට සාකච්ඡාවක් ඉල්ලයි

estate-workers-centre-ewc

වතු කම්කරුවන් මුහුණ දෙන පහත ගැටළු නිරාකරණය කරගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වීම සඳහා වතු කම්කරු මධ්‍යස්ථානය විසින් කම්කරු කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

  1. සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතය හමුවේ දිවයින පුරා සංචරණ සීමා පනවා තිබුණ ද කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් වතු කම්කරුවන් සේවයට කැඳවීම සහ එමගින් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් වි තිබීම
  2. වතු පේලි නිවාස වල ජීවත් වන වතු කම්කරුවන් ඇතුළු සියළු ජන ප්‍රජාවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ සහ වසංගතය පැතිර යාමේ දැඩි අවදානමක් පවතී. නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරිමට තරම් භෞතික පහසුකම් වතු කම්කරුවන්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවට නොමැති හෙයින් ඔවුන්ගේ ජීවිත මේවන විටත් දැඩි අවදානමට ලක්ව ඇත.ඒ පිළිබඳව සැලකිල්ලට ලක් කර ඔවුන් සියළු දෙනාටම කඩිනමින් එන්නත ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම.
  3. මේ වන විටත් කොවිඩ් රෝගීන් බවට පත්ව ඇති වතු කම්කරුවන් මෙන්ම නිරෝධායනයට යොමු කර ඇති වතු කම්කරුවන් සඳහා පඩි සහිත නිවාඩු ලබාදීමට පියවර ගැනීම.
  4. වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් 1000ක් ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත් වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් 1000 කප්පාදු කිරීමට කටයුතු කර ඇත. උදාහරණයක් ලෙස දිනකට නෙලිය යුතු තේ දළු ප්‍රමාණය අසාධාරණ ලෙස හිටිහැටියේ ඉහල දමා ඇති අතර එකතු කළයුතු රබර් කිරි ප්‍රමාණය ද මෙලෙස ඉහළ දමා ඇත.

එම ඉලක්ක සම්පූර්ණ කිරීම ඉතා දුෂ්කර වන අතර එසේ නොකරන කම්කරුවන් සඳහා දින ½ක වැටුප පමණක් ලබාදීමට වතු සමාගම් කටයුතු කරමින් සිටී. පෙරළා අදාළ නිශ්පාදන ඉලක්ක ඉක්මවන කම්කරුවන් සඳහා ඊට පෙර ලබා දුන් අමතර ගෙවීම් ද නතර කර ඇත. එමෙන්ම දවසේ වැඩ කළ යුතු කාලය වැඩි කිරීම, නිවාඩු දින වල දී වැඩ කිරීමේ දී ඊට පෙර ලබාදුන් අමතර ගෙවීම් නතර කිරීම ඇතුළු වතු කම්කරුවන් මෙතෙක් භුක්ති විඳි අයිතිවාසිකම් සහ වරප්‍රසාද රැසක් කප්පාදු කර ඇත.
වතු සමාගම් පනවා ඇති ඉහත අසාධාරණ කොන්දේසි ඉවත් කිරීමටත් ඉහත ගැටළු විසඳා ගැනීම සඳහාත් අප සංගමයට කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් වතු කම්කරුවන්ගේ ඉල්ලීම් කඩිනමින් ලබාදීමට වහාම පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.