වසංගතයට හුදෙකලා කළ හැටන් වතුයායක සහන ඉල්ලා අරගල

estate-workers

කෝවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර සිටි තමන්ට නොලැබුනු සහන ඉල්ලා වතු කම්කරුවන් විශාල පිරිසක් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

හැටන්, වැලිඔය වත්තේ දහසකට ආසන්න වතු කම්කරුවන් පිරිසක් ජුලි 15 අගහරුවාදා උදෑසන එම වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය අභියස දී විරෝධතා දැක්වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයන් ගණනාවක් හමු විම නිසා මැයි 21 දින සිට හුදකලා කර තිබු එම වතු යාය අද උදෑසන සිට විවෘත කර තිබේ.

හුදකලා බව ඉවත් කළ සැනින් විරෝධතා පැවැත්වු වතු කම්කරුවන් අවධාරණය කර ඇත්තේ හුදකලා කරන ප්‍රදේශ වලට රජය විසින් ලබා දෙන කිසිදු සහනාධාරයක් හෝ අඩු ආදායම්ලාභින්ට ලබා දුන් රුපියල් පන් දහසේ දීමනාව කිසිවෙකුටත් හිමි නොවු බවයි.

දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින තමන්ට කිසිවෙකුත් උපකාර නොකළ බවට දැඩි ලෙස චෝදනා නගන ඔවුන් මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුනේ වතු යායේ පාලන අධිකාරිය විසින්ද කිසිවෙකුට උපකාරයක් නොකළ බවයි.

මාසයකට ආසන්න කාලයක් ජීවන වෘත්තිය අහිමි වී සිටින තමන් දැඩි ආර්ථික අපහසුතාවයන්ගෙන් පීඩා විදින බව පවසන වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා ඇත්තේ හුදකලා කර තිබු අනෙකුත් ප්‍රදේශවලට ලබාදුන් සහනාදාර මල්ල තමන්ට කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

වැලිඔය වතු යාය අද හුදකලා භාවයෙන් ඉවත් කළත් නිරෝධායන උපදෙස් වලට පටහැනිව උද්ඝෝෂණ සිදු නොකරන ලෙසට වටවල පොලිසියේ නිලධාරින් උද්ඝෝෂකයන්ට දැඩි ලෙස උපදෙස් ලබා දුන් බවත් පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.