සෙලෙන්දිවා ආයතනය යටතේ පොදු දේපළ විකිණීම

ntuf

රටතුල පැවති සංවෘත ආර්ථික ක්‍රමය මුළුමනින්ම කනපිට හරවමින් හදුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථිකයේ ආගමනයක් සමගම ජනතාව සතු ඉඩම් රාජ්‍ය ආයතන මෙන්ම ශක්තිමත්ව පවත්වාගෙන ගිය කර්මාන්තශාලා පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් සිදුවී ඇති අතිවිශාල හානියට රටක් වශයෙන් අප වන්දි ගෙවමින් සිටිමු. දේශිය නිෂ්පාදන විනාශකරමින් විදේශිකයින්ගේ කුණු කසල රට තුල සුළභවීම හරහා බිදවටුන රටේ ආර්ථිකය නැවත ගොඩගත නොහැකි ණය බරක් දක්වා වර්ධනය කර ඇත. බිදුණු ආර්ථිකය ‍ගොඩනැගීම සදහා එකම විකල්පයක් ලෙස අනුගමනය කරමින් සිටිනුයේ රටේ ආර්ථිකය මෙන්ම භූ දේශපාලනයට දැවැන්ත වටිනාකමක් එක්කරන ලද රාජ්‍ය දේපල මෙන්ම පෞරානික හා සංස්කෘතික වශයෙන් වැදගත් රාජ්‍ය දේපල කුණුකොල්ලයට ජාත්‍යතන්තර හා පෞද්ගලික ව්‍යවසායකයින්ට විකිණීමයි.

ඒ සදහා මුදල් අමාත්‍යාංශය යටතේ සෙලෙන්දිවා නැමති ආයතනයක් ගොඩනගා එම ආයතනය යටතට කොළඹ කොටුවේ පිහිටි ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක අති විශාල වටිනා කමක් ඇති ගොඩනැගි රාශියක් පවරා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. එහිදී කොළඹ මහ තැපැල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල ලංකා බැංකුව යෝර්ක් වීදිය ගොඩනැගිල්ල ( GOH Building ) හිල්ටන් හෝටලය, හයිට් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, ආදී ගොඩනැගිලි සමූහයක් පළමු අදියරේදී පවරා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙම සෙලෙන්දිවා සමාගම හිමිකාරත්වයෙන් 49% ආයෝජකයින් සදහා විවෘත වන අතර සෙලෙන්දිවා ආයතනය විසින් පිහිටුවන උප සමාගම පූර්ණ පෞද්ගලික ව්‍යාපාරයක් වන බැවින් රාජ්‍ය විගණනය හෝ කෝප් කමිටුවට ඇති වගකීමෙන් නිදහස් වේ. මෙම ක්‍රමය රාජ්‍ය දේපලවල ක්ෂාරය උරාබීම සදහා ගොඩනගන ලද උපායශීලී සැලැස්මක් බව ඉතා පැහැදිලිය. එමෙන්ම කොළඹ කොටස් වෙළද පොලෙහි ලයිස්තුගත සමාගමක් බවට මෙම සෙලෙන්දිවා සමාගම මෙම මස දී කොළඹ කොටස් වෙළදපොලෙහි ලියාපදිංචියට සුදානම් වන බවට තොරතුරු ලබී ඇත.

කොළඹ කොටුව ප්‍රදේශයේ ආර්ථික මර්මස්ථානයන් මෙන්ම ඓතිහාසික සංස්කෘතික පුරාවිද්‍යාත්මක අතිවිශාල වටිනා කමින් යුතු ගොඩනැගිලි මේ ආකාරයට පෞද්ගලික අංශයට හෝ ජාත්තන්තර ආයෝජකයින්ට පැවරීමට ගන්නා තීරණය නතර කරන ලෙසට රජයට බලකිරීමට ජාතික වෘත්තීය සමිති පෙරමුණ මේ වන විට තීරණය කර ඇත. ඒ සදහා ආගමික නායකයින් දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් ක්‍රියාදරයින් දැණුවත් කරමින් ඊට එරෙහිව කටයුතු කරමින් සිටියි. ඉදිරියේ දී ඔවුන් හා එක්ව මේ පිළිබද සාකච්ඡාකර පොදු විරෝධයක් පෙළ ගැස්වීමට ආපේක්ෂා කරමු.

රටතුල මතුවී ඇති වසංගත තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝදී ලෙස අතිවිශාල වටිනාකමින් යුත් රටේ මහජනතාවට අයිති පොදු දේපළ මේ ආකාරයට අපහරණයට ලක්කරමින් විකුණා දැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව සියළු බලවේග පෙළගැස්වීමට අප අපේක්ෂා කරමු. එහිදී රටේ මහජනතාවට වගකියන මාධ්‍ය ආයතනයක් ලෙස මෙම අපරාධය පිළිබදය නිවැරදි තතු ජනතාවට සංනිවේදනය කිරීමේ වගකීමක් හා මේ සම්බන්ධයෙන් ජනතාව අවධි කිරීමේ වගකීමක් ඔබ සතුව ඇති බව පෙන්නා දෙමු. ඒ නිසා අප සංවිධානයද ඇතුළු මීට එරෙහිව කටයුතු කරණු ලබන සියළු බලවේග විසින් ගෙනයන වැඩ පිළිවල සදහා මාධ්‍ය ආවරණය ලබා දෙමින් මෙම ක්‍රියාවලිය පරාජය කරමින් ඓතිහාසික මෙන්ම පෞරාණික වටිනාකමක් සහිත ආර්ථික මර්මස්ථාන අනාගත පරපුරට ආරක්ෂා කරදීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. තවද මේදක්වා ඔබ ආයතනය විසින් ලබාදී ඇති සහයෝගයද ඉතා අගේ කොට සලකමු.

ජාතික වෘත්තීය සමිති පෙරමුණ