දුම්රිය වර්ජනයකට ලෑස්තියි

railway-strike

කොළඹ හා තදාසන්න දුම්රිය ව්‍යෘපෘති කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති 34 ක් විසින් ලබන බදාදා (30) වැනිදා සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ඊයේ (22) පැවසීය.

එමෙන්ම මෙම වර්ජනයට සහාය ලබාගැනීම සදහා ශ්‍රීලංකා ටෙලිකොම්, වරාය,තැපැල් ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනවල වෘත්තිය සමිති සමගින් සාකච්ඡා සිදුවන බවත් හෙතෙම කීවේය.

ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින කොලඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති කාර්යාලය හරහා බරපතල දූෂණ හා වංචා සිදුව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම ඇතුළු විමර්ශන ආයතන වෙත පැමිණිලි කළත් ඉහළ දේශපාලන බලපෑම් හමුවේ ඒ සියළු විමර්ශන යටගැසී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

මෙම කාර්යාලයේ අක්‍රමිකතා ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමත්, දුම්රිය ප්‍රවේශපත්‍ර විද්‍යුත්කරණය කිරිමේ ව්‍යාපෘතිය විදේශීය සමාගමකට ලබාදීමට උත්සහා දැරීමත්, දුම්රිය දෙපාර්තුමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීමට බලධාරීන් පියවර නොගැනීමත් , දූෂන වංචා සිදුකර ඇති මෙම ව්‍යාපෘති කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඉවත් නොකිරීමත් ඇතුළු හේතුන් මත මෙම වර්ජනය ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දුම්රිය එන්ජින් රියදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති 34 ක් මෙම වර්ජනයට මේ වනවිට සහාය ලබාදී ඇතැයි ද හෙතෙම කීවේය.