‘ඩෙල්ටා ආසාදිතයින්‘ තවත් සමාජය තුළ සිටිය හැකියි

dr-susi-perera

ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් පස්දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණයකින් නිසා සමාජය තුළ එම ප්‍රභේදය ආසාදිත තවත් රෝගීන් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මෙසේද පැවසුවාය. ‘ ඩෙල්ටා ප්‍රභේදය සමාජය තුළින් හමුවූ නිසා මාසයක් වැනි කාලයක් තුළ වේගයෙන් පැතිර යාමේ අවදානමක් තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70වකින් ඉහළයි. ඒ නිසා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව අවධාරණය කිරීමට මම කැමතියි. මේ වන විට රටවල් ගණනාවක ඩෙල්ටා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා.

සංචරණ සීමා පැවති කාලය තුළ රෝගීන් වාර්තාවීම අඩු වී ඇතත් දිගටම එය පවත්වාගෙන යාම අසීරු නිසා එම සීමා ලිහිල් කිරීමක් කිරීමට සිදු වුණා. නැවතත් රට වසාදැමීමකට යාම වළක්වා ගැනීමට නම් ජනතාව ලිහිල් කර තිබෙන සංචරණ සීමා තුළ වගකීමෙන් කටයුතු කළයුතුයි. මොකද අපේ රෝහල් පද්ධතිය සතුව තිබෙන්නේ ඇඳන් 8600ක් පමණයි. එය අභිබවා කොවිඩ් රෝගීන් වාර්තා වුවහොත් ගැටලුවක් ඇතිවිය හැකියි‘‘