තැපැල් දෙපාර්තමේන්තුව ලාබ ලැබූ බවට පුවතක් පසුගියදා පළ වෙලා තිබුණා නේද?
තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ වැඩිම දෛනික පිරිවැටුම වාර්තා වුණේ ජූනි 22 වන දා. රට වහලා තිබිලා 21 වන දා විවෘත කළාම එකතු වෙලා තිබුණු බිල් ගෙවීම් හා අනෙකුත් අවශ්‍යතා ස`දහා මිනිස්සු වෙනදාට වැඩියෙන් තැපැල් කාර්යාලවල සේවය ලබාගෙන තිබුණා. සාමාන්‍යයෙන් අපේ අන්තර්ජාල පහසුකම්වල ප‍්‍රමාද ගතියක් තියනවා. මොන හේතුවක් නිසා හරි එදා ඒ ප‍්‍රමාදය වුණේ නෑ. ඒකත් මේ දෛනික පිරිවැටුම වැඩි වීමට බලපෑවා. එසේ වුවත් 23 වන දා වන විට එය යලිත් පෙර පැවති තත්වයටම පත් වුණා. පැය 48 ක් වගේ කාලයක් තමයි ඒ තත්වය තිබුණේ. ඒක ලාභ ලැබීමක් කියලා අර්ථ දක්වන්න අමාරුයි. ඒ දෛනික පිරිවැටුම එදා සිට දිගටම පවතිනවා නම් ලාභ ලැබීමක් කියලා කියන්න පුළුවන්. ඒත් එහෙම වුණේ නෑ.
එසේ නම් සමස්ථයක් ලෙස ලංකාවේ තැපල් සේවයේ අද තත්වය කොහොමද?
ලංකාවේ තියෙන සේවා සපයන ආයතන අතරින් විශාලම සේවා ජාලය තැපැල් දෙපාර්තමේන්තුව සතුයි. ලංකාවේ සෑම නිවසකටම ඉතා කෙටි කාලයක් තුළ අපේ නියෝජිතයෙක් යැවීමේ හැකියාව අපට තියනවා. එහෙම වුණත් ආයතනයක් ලෙස අපි අසාර්ථක වෙලා තියනවා. මේ සේවයට අවශ්‍ය අවස්ථාවල තාක්ෂණය ආදේශ නොවීම තුළ තමයි ඒ තත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතිහාසයේ තැපැල් දෙපාර්තමේන්තුවට තරඟකාරී ආයතන කිසිවක් තිබුණේ නෑ. කල් ගත වෙන විට ඒ තත්වය ක‍්‍රමයෙන් වෙනස් වුණා. විශේෂයෙන් විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමත් එක්ක අපනයන ප‍්‍රවර්ධන කලාප තුළ තැපෑලට පරිබාහිරව ලිපි බෙදීම් හා තැපැල් භාණ්ඩ බෙදා හැරීමට පුද්ගලික ආයතනවලට ඉඩකඩ ලැබුණා. අද වෙනකොට ඒ සේවාවන් ආයෝජන ප‍්‍රවර්ධන කලාපවලින් ඔබ්බට ගිහින් ලංකාව පුරා ක‍්‍රියාත්මක වෙන්න පටන් අරන් තියනවා. දැන් තැපැල් දෙපාර්තමේන්තුවට තරගකරුවො ඉන්නවා.
සේවා සැපයීමෙන් පමණක්ම මුදල් උපයා නඩත්තු වෙන පෞද්ගලික කුරියර් (අධිවේගී තැපැල්) සේවා එක්ක රාජ්‍ය අනුග‍්‍රහය හා පහසුකම් සහිත රාජ්‍ය ආයතනයකට තරග කරන්න බැරි ඇයි?
ඒ අය එක්ක තරග කරන්න නම් තාක්ෂණය අතින් තැපැල් දෙපාර්තමේන්තුවට යාවත්කාලීන වෙන්න වෙනවා. මම කලින් කව්වා වාගේ අපට තියන ප‍්‍රධාන සම්පත තමයි අපේ ජාලය. තාක්ෂණිකව අපි යාවත්කාලීන නොවීම නිසා ඒ ජාලය වෙනත් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අවශ්‍යතා සැපිරීම සඳහා සේවාවක් ලෙස අලවි කරන්න තවමත් අපි අසමත් වෙලා තියනවා. 90% ක් විතර කාර්යාල පහසුකම් අපිට තියනවා. ප‍්‍රවාහන පහසුකම් තිබුණත් එය ප‍්‍රමාණවත් නැති නිසා අපි ප‍්‍රවාහන කටයුතු කර ගන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය, ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාරතමේන්තුව වගේ ආයතන එක්ක ඒකාබද්ධවයි. ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සැලකිය යුතු පිරිවැයක් දරනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ 26000 කට ආසන්න කාර්යමණ්ඩලයක් ඉන්නවා. මේ වෙනකොට අපේ නිලධාරී කණ්ඩායමේ 1500 ක විතර පුරප්පාඩුවක් තියනවා.
පුද්ගලික ආයතනවල ජාලය කුඩයි. සමහර ආයතන වැඩ කරන්නේ නාගරික කලාපවල පමණයි. අධිවේගී තැපැල් සමාගම් 100 කට ආසන්න ප‍්‍රමාණයක් ලංකාවේ තියනවා. ඒවායෙන් වැඩි හරියක් ක‍්‍රියාත්මක වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන. පිට පළාත් දක්වා ක‍්‍රියාත්මක වෙන අධිවේගී තැපැල් සේවා ඉතා සරල ක‍්‍රමවේදයකට තමයි වැඩ කරනනේ. ඒ නිසා ඒ අයට තාක්ෂණික පහසුකම් සැපයීමේදී අඩු පිරිවැයකින් ඒක කරන්න පුළුවන්. අපේ ජාලය විශාල නිසා තාක්ෂණිකව යාවත්කාලීන වනවා නම් විශාල පිරිවැයක් එකවර දරන්න සිදු වෙනවා. උප තැපැල් කාර්යාල 3410 ක්, තැපැල් කාර්යාල 653 ක් සඳහා මේ තාක්ෂණික පහසුකම් සපයන්න ඕනෑ. එය අවශ්‍යතාවක් ලෙස තියනවා. දෛනිකව අපි ලක්ෂ 20 කට ආසන්න ලිපි ප‍්‍රමාණයක් හුවමාරු කරනවා. මේ විශාලත්වය හා සංකීර්ණ බව නිසා තමයි අපිට එක සැරේ තාක්ෂණික යාවත්කාලීන වීමකට යන්න බැරි වෙලා තියෙන්නේ. පෞද්ගලික අංශයට ඒක ක‍්‍රමානුකූලව සුළු පරිමාණයෙන් කරගන්න පුළුවන් වෙලා තියනවා.
අද ව්‍යාපාරික අංශයේ ලිපි හුවමාරුවේදී ක‍්‍රියත්මක වෙන්නේ ඬේටා හුවමාරු කරගැනීමේ ක‍්‍රමයක්. එක් ආයතනයකින් නිකුත් කරන ලිපියක්, ලැබිය යුතු ආයතනයට ලිපියක් ලෙසම යවන්නේ නෑ. ලිපි 1000 ක් තියනවා නම් ඒ ලිපිවල අඩංගු දත්ත තමයි ලැබිය යුත්තාට සපයන්නේ. එතකොට මාර්ගගත ක‍්‍රමයට ඒ සේවාව සපයන්න පුළුවන්. අපිට ඒ තාක්ෂණික පහසුකම් නෑ වාගේම ඒ සේවා ඉල්ලා හිටින පුද්ගලික ආයතන දිනාගන්න අපට පුළුවන් වෙලා නෑ.
ජංගම දුරකතනය හා ස්මාර්ට් දුරකතනය පැමිණීමත් එක්ක ලිපි මගින් තොරතුරු හුවමාරු කරගැනීම අඩු වෙලා තියනවා. දැනට ලිපි ලෙස හුවමාරු වෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරී ලිපි ලේඛන පමණයි. පෞද්ගලික අංශයේ රාජකාරී ලිපිවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මේ වෙනකොටත් මම මුලින් කියූ ආකාරයේ අධිවේගී තැපැල් සේවා සපයන ආයතන මගින් මාර්ගගත ක‍්‍රමයට හුවමාරු කරන්න පටන් අරන් තියනවා. ඒ සේවාවන් සැපයිය හැකි ආකාරයෙන් තැපැල් දෙපාර්තමේන්තුව තාක්ෂණිකව යාවත්කාලීන වීමේ අවශ්‍යතාවක් තියනවා.
තැපැල් දෙපාර්තමේන්තුව මුලිකත්වය දීලා තියෙන්නේ ලිපි හුවමාරුවට. කුරියර් සේවාවන් මූලිකත්වය දී තිබෙන්නේ පාර්සල් හුවමාරවට නේද?
තැපැල් දෙපාර්තමේන්තුව දේශීය හා ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවාවන් අරම්භ කරලා තියනවා. අපි මේ වෙනකොට ලංකාව තුළත්, ලෝකයේ රටවල් 150 කට ආසන්න සංඛ්‍යාවකටත් අධිවේගී තැපැල් සේවා සපයනවා. පර්සල් හුවමාරුව සඳහා අපි මෑතකදී සී ඕඞී කියලා ක‍්‍රමයක් ආරම්භ කළා. සී ඕඞී කියන්නේ කෑෂ් ඔන් ඩිලිවරි. ඒවාට අපි දියුණු තාක්ෂණික ක‍්‍රම ආදේශ කරලා තියනවා. කිලෝ 40 කට අඩු පාර්සලයක් දින තුනක් ඇතුළත රටේ ඕනෑම තැනකට ගෙන යෑමේ හැකියාවක් අප සතුව තියනවා. ලෝකයේ අධිවේගී තැපැල් සේවාව පවත්වාගෙන යන පුද්ගලික ආයතන වන ෆෙඩෙක්ස්, ඩීඑච්එල්, ප්‍රොන්ටෝ ආයතනවල සේවාව තරම්ම අධිවේගී තැපැල් සේවාවක් කරන්න අපිට හැකියාව තියනවා. ලංකාවේ ඕනෑම කෙනෙකුට, ඕනෑම තැපැල් කාර්යාලයකින් ඒ සේවාවන් ලබා ගන්න පුළුවන්.
වෙනසකට තියෙන්නේ පුද්ගලික අංශයේ ආයතන අයකරන ගාස්තුවලට වඩා බොහෝ අඩු ගාස්තුවක් තමයි අපි අධිවේගී තැපැල් සේවාව සඳහා අය කරන්නේ. ඒකට මූලික හේතුව ජාත්‍යන්තර තැපෑල කියන ක‍්‍රමවේදයට අනුව මිල ගණන් අය කිරීම. එක ආයතනයකින් සේවාව පාලනය වෙන්නේ. ඒ ආයතනයට අදාල සියලූ රටවල එකම ක‍්‍රමවේදයකට ගාස්තු අය කරන්නේ.
ලෝකයේ දියුණු රටවල තැපැල් සේවාව හොඳින් ක‍්‍රියාත්මක වෙද්දී ශ‍්‍රී ලංකා තැපැල් සේවය අලාබ ලබන්නේ ඇයි.?
සේවා සැපයීම කොච්චර කළත් අපි ආයතනයක් ලෙස පසුබාලා තියනවා කියලා මහජනතාව අතරත් අදහසක් තියනවා. අවුරුදු 225 කට ආසන්න ලංකාවේ තැපැල් සේවා ඉතිහාසයේ තැපෑල දිගටම ලාභ ලබලා තිබුණා. දැනට දශක තුනකට ආසන්න කාලයක සිට අපි ආයතනයක් ලෙස ලාභ නොලබන තත්වයට පත් වෙලා තියනවා.
විදේශිකයින් මහජන සුභසාදනය සපයන ආයතනයක් සේ මේ තැපැල් සේවය ගොඩගලා ඒ සේවාව සඳහා අරමුදල් රැස්වන ආකාරයකුත් ගොඩනගලා තිබුණා. ඒ ක‍්‍රමවේදයන් මේ වෙනකොට අපෙන් අයින් කරලා තියනවා. උදාහරණයක් වශයෙන් විදුලි සංදේශ අංශය අපි ආදායම් උපයපු අංශයක්. ශ‍්‍රී ලංකා ටෙලිකොම් ලෙස අද ක‍්‍රියාත්මක වෙන්නේ අපෙන් අපයින් කරපු ඒ විදුලි සංදේශ අංශය තමයි. අනෙක තමයි තැපැල් බැංකු අංශය. ඒක තමයි පස්සේ කාලෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව කරලා තියෙන්නේ. ලාබ ලබන අංශ දෙකම අපෙන් අයින් කරලා තිබියදීත් අපි මහජනයාට සේවා සපයනවා. ඊට අමතරව ‘රාජ්‍ය සේවය පිණිසයි’ කියලා රාජ්‍ය අංශය සඳහා නොමිලේ සේවාවකුත්, මැති, ඇමැතිවරු සඳහා රුපියල් 1,85,000 ක සීමාවකට යටත්ව නොමිලේ ලිපි හුවමාරු සේවාවකුත් පවත්වාගෙන යනවා. ඇත්තටම අද තැපැල් සේවය කියන්නේ අත් දෙකයි, කකුල් දෙකයි කපලා දාපු කොටෙක් වගේ. විදේශිකයින්ගෙන් පස්සේ මේ රට පාලනය කරපු දේශපාලන අධිකාරිය ඒකට වගකියන්න ඕනෑ.
උදාහරණයකට අපි අද සාමාන්‍ය ලිපියකට රුපියල් 15 ක මුද්දර ගාස්තුවක් අය කරනවා. ඒ වගේම ලියාපදිංචි ලිපියකට රුපියල් 45 ක් අය කරනවා. මුලින්ම පාරේ තියන ලියුම් පෙට්ටියකට යවන්නා ලියුම දානවා. ලියාපදිංචි ලිපියක් නම් තැපැල් කන්තෝරුවට ගෙනැත් දෙනවා. එතැන් සිට ඒ ලිපිය ලබන්නා ලඟට යනකොට විශාල සේවක පිරිසක් මේ වැඩේට දායක වෙනවා. ඒ නිසා පාඩු පිට තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ. තැපැල් ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව තියනවා.තැපැල් ගාස්තු සංශෝධනය කිරීමේ අයිතිය තියෙන්නේ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට. ඒක තීරණය වෙන්නේ දේශපාලන අධිකාරියේ අදහස්, උදහස් මත. ඒ නිසා කාලානුරූපීව තැපැල් ගාස්තු වැඩි කිරීමේ වුවමනාවක් ඇති වෙලා තියනවා.
(ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති, චින්තක බණ්ඩාර මහතා සමග කරන ලද ප‍්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර මහතා විසින් අනිද්දා පුවත්පතට කරන ලද සාකච්ඡාවකි)