වතු කම්කරුවන් උපවාසයක

වතු කම්කරුවන් උපවාසයක

බගවන්තලාව කොටියාගල වතුයායේ වතු කම්කරුවන් පස්දෙනකු ඊයේ උදෑසන සිට (30) උපවාසයක් ආරම්භ කරන ලදි.

මෙම උපවාසයට මූලික හේතුව වී ඇත්තේ මාස තුනක කාලයක පටන් වැටුප් නියමිත පරිදි නොගෙවීමත්, සාමකාමී ලෙස තම රාජකාරියේ කටයුතු කිරිමට නොහැකිවීමත් යන කරුණු මුල් කරගනිමින්ය.

සාමාන්‍යයෙන් කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ අවස්ථාවක තම රාජකාරි කිරීම පෙරපරිදිම සිදුවන නමුත් වතු කම්කරුවන්ගේ වැටුප රු. 1000 වීමත් සමගම ඔවුන් කරන වැඩ වැඩියෙන් සිදුකිරීමට සිව ඇති බව මෙම උපවාසයට සහභාගි වන අයෙක් පැවසීය.

මෙම තත්ත්වය තුල ඔවුන්ගේ පවුල් විශාල ලෙස ආර්ථික අර්බුදයකට හා පීඩනයකට ලක්ව ඇති බවත්, වෘත්තීය සමිති මේ මොහොතේ ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකරන බවත් ඔහු වැඩි දුරටත් පැවසා සිටියේ, තම සහෝදර කම්කරුවන්ගේ ජීවිත අහිමි කරගන්නා තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා මෙම උපවාසය ආරම්භ කළ බවත්ය.

මෙම අර්බුදය සම්බන්ධව වතු කළමණාකාරිත්වය සමග සාකච්ඡා වට කිහිපයක් කළ නමුත් සාධාරණ විසඳුමකට පැමිණිය නොහැකි වූ බවත්, ඔවුන් පවසා සිටින්නේ වතු පාඩු ලබන තත්ත්වයක පසුවන බවත්ය. නමුත් කළමණාකාරිත්වය එසේ පැවැසුවත් ඔවුන්ගේ වියදම් අඩුකරන තත්ත්වක් පෙන්නුම් නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, වැවිලි යටිතල පහසුකම් අමාත්‍යවරයා, කර්මාන්ත අමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා ඇතුළු කිසිඳු වෘත්තීය සමිතික් අපගේ ප්‍රශ්ණ සඳහා මෙතෙක් කිසිඳු මැදිහත් වීමක් සිදුනොකර ඇති බවට චෝදනා කරන ලදි.