රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ට වැටුප් ගැන සුබ පණිවිඩයක්

salary-arrears

ස්ථීර කළ සංවර්ධන නිලධාරීන්ට හිඟ වැටුප් මුදල් තවදුරටත් ප්‍රමාද කිරීමකින් තොරව ලබා දීමට පියවර ගන්නා මෙන් අදාළ අමාත්‍යාංශ ප්‍රධානීන් හා පළාත් ප්‍රධානීන් දැනුවත් කරන මෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, 2019 උපාධිධාරී අභ්‍යාසලාභී ii සහ iii අදියර යටතේ පුහුණුව නිමකළ උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ 2021.01.01 දින සහිතව ස්ථීර කරන ලදි.

2021.01.01 දිනට ස්ථීර කළ සංවර්ධන නිලධාරීන්ට ජනවාරි සිට පූර්ණ ස්ථීර වැටුප හිමිවිය යුතුය. නමුත් ජනවාරි සිට අප්‍රේල් දක්වා වන මාසවලට හිමි හිඟ වැටුප් මුදල් ජූනි මස අවසන් වන විට ද හිමි නොවූ බව සඳහන් වේ.

2021.06.28 දින අප සංගමයේ නිල සමාජ ජාලා පිටුව මඟින් සිදු කළ විමසීමකින් පසු එසේ හිඟ වැටුප් නොගෙවා ඇති ආයතන පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී ඇත.

  1. අදාළ කරුණු පිළිබඳව වැඩි දුර සොයා බැලීමේ දි 2021.01.01 දින සහිතව ස්ථීර වූ සාතිශය බහුතරයක් වූ සංවර්ධන නිලධාරීන් සඳහා ජනවාරි සිට හිඟ වැටුප් ලැබී නොමැති බව දැනගැනීමට ඇත.
  2. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේවන ඇතැම් දිස්ත්‍රික්ක හා ඊට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව හා පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු ආයතන යටතේ අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත,
  3. අප ඉහතින් සඳහන් කළ ආයතන මෙන්ම තොරතුරු වාර්තා නොවන තවත් බොහෝ ආයතන පවතින බව අපගේ විශ්වාසය වන අතර ඊට අයත් සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙම ඉල්ලීම අදාළ කර ගැනීම.

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීමේ දී වසරකට වැඩි කාල සීමාවක් දීර්ඝ වීම තුලින් ඔවුන්ට අසාධාරණයක් සිදු වුණි. ජීවන වියදම ඉහළ යාම ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම තුළ උක්ත නිලධාරීන්ට ද එම අපහසුතාවය දැඩිව දැනෙන බව සිහිපත් කරමු.

එම නිලධාරීන්ට හිමිවිය යුතු හිඟ වැටුප් මුදල් තවදුරටත් ප්‍රමාද කිරීමකින් තොරව ලබා දීමට පියවර ගන්නා මෙන් අදාළ අමාත්‍යාංශ ප්‍රධානීන් හා පළාත් ප්‍රධානීන් දැනුවත් කරන මෙන් අප සංගමය කාරුණිකව ඉල්ලා සිටිමු.