ඉතිහාසයේ ආරම්භ කළ වෘත්තීය සමිති මර්ධනය යළිත් කරළියට

ඉතිහාසයේ ආරම්භ කළ වෘත්තීය සමිති මර්ධනය යළිත් කරළියට
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයක් අතර තුර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතාද ඇතුළුව පොලීසිය විසින් පුද්ගලයින් 31දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
පාර්ලිමේන්තු වටරවුම අසල දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණු අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම උද්ඝෝෂණයට එක්ව සිටියේය.
 

දිනෙන් දිනම සිදුවෙන වෘත්තීය සමිති මර්ධනය පිළිකුළෙන් හෙළා දකිමින් වෘත්තීය සමිති නායකයින් මේවනවිට පෙරට විත් සිටින අතර ආණ්ඩුව සිදුකරන මේ වෘත්තීය සමිති දඩයම ගැන සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක මහතා වැඩබිම වෙත අදහස් පල කළේය.

මේ ආණ්ඩුව වගේම  පෙර ආණ්ඩු කාලවලදීත් වෘත්තීය සමිති මර්ධනය කොයි ආකාරයෙන්ද සිදුවුනේ සහ එහි අවසානය කොයි ආකාරයෙන්ද සිදුවුනේ යන්න අපි අත්වින්දා.විශේෂයෙන් වෘත්තීය සමිති මර්ධනයේ අවසාන ඝාතන වලින් කෙලවර වූ කාලයක් තමයි අපි පසුකරගෙන ඇවිත් තියෙන්නේ.කටුනායක රොෂේන් චානක ඝාතනය, මීගමුව ධීවර තරුණයෙකුගේ ඝාතනය, රතුපස්සල වතුර ඉල්ලපු සහෝදරවරු මේ පුද්ගලයින්ට හමුදාව,පොලීසිය යොදා ඝාතනය කිරීම්වලින් තමයි මර්ධන අවසන් කළේ.මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් තිබුනා.මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අත් කකුල් කඩා දැමීම්,අතුරුදහන් කිරීම් වැනි විශාල මර්ධනකාරී ක්‍රියාවන් සිදුකළා.එවැනි ආණ්ඩුවක් නැවත බලයට ඇවිත් වර්තමානයේදී මේ සිදුකරන්නේත් එවැනිම මර්ධනයක්.
 

ආණ්ඩුව බලයට පත්වෙලා වසර එකහමාරක් වැනි කාලයක් තුළ පෙනෙන්නට තිබෙන්නේ හමුදාකරණය වූ පාලනයක්.ප්‍රධාන අමාත්‍ංයාශ බොහෝමයක් පාලනය වන්නේ හමුදාවේ නිලධාරීන් හරහා.මෙවැනි ක්‍රියාවන්ගෙන් පැහැදිලි වෙන්නේ මර්ධනයක මූලාරම්භය සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරමින් පවතින බවයි.

මේ ආණ්ඩුව පටන්ගත්ත කාලයේ සිට පොදුවේ කම්කරුවන්ට ,මහජනතාවට සිදුවුනු යහපතක් නෑ.ඔවුන්ගේ වාසියට සෑම දේම ක්‍රියාත්මක වෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

අද ජෝශප් ස්ටාලින් සහෝදරයා ඇතුළුව පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා.අධ්‍යාපනය සම්බන්ධ ගැටළු වලට විසඳුම් වලට විසඳුම් ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයකදී ඔවුන්ව අත් අඩගුවට ගෙන තිබෙන්නේ.ඊයේ පෙරටුගාමී පක්ෂයේ සහෝදරවරු හා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.අද ජෝසප් ස්ටාලින් සහෝදරයා.හෙට තවත් වෘත්තීය සමිති නායකයෙක් දඩයමක් විය හැකියි. රටේ තිබෙන යහපත් දේවල් රැකගැනීම උදෙසා පෙරට එන වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම අතිශය පිළිකුල්සහගත ක්‍රියාවක්.

අපි වෘත්තීය සමිති විදිහට අපේ යුතුකමක් රට සහ රටේ අනාගත පරපුරවෙනුවෙන් නිදහස් අධ්‍යාපනය,ඒ වගේම ජනතාවගේ ගැටළු,ප්‍රශ්න,විශේෂයෙන් සමස්ත කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින යුතුයි,එහිදී සියළුම වෘත්තීය සමිති සිවිල් සංවිධාන ලෙස පුරවැසියන්ද ඒකරාශී කරගනිමින් මේ අභ්යෝගවලට මුහුණ දෙන්න යම් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි.