නිරෝධායන නීතිය අවභාවිතා කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණයට ඉඩදෙමුද? 

නිරෝධායන නීතිය අවභාවිතා කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණයට ඉඩදෙමුද? 
නිරෝධායන රීති උල්ලංඝණය කරමින් විරෝධතාවයක් සංවිධානය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු 33 දෙනාගෙන් 15 දෙනෙකු ඇප මත මුදා හැරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබේ.  
 
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 33 දෙනෙකු රුපියල් 25,000 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කර තිබියදී, පොලීසිය විසින් දිගින් දිගටම අධිකරණයට කරුණු පෙන්වාදෙන්නට උත්සාහ කරන ලද්දේ මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකට හෝ නිරෝධායන ක්‍රියාවලියට යොමු කරවීමට කටයුතු කරන ලෙසයි. එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ එම සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවයි. කෙසේ වෙතත් අධිකරණයේ තීන්දුව හෝ නොසළකා පොලීසිය විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාධරයන්, ශිෂ්‍ය සංවිධාන නියෝජිතයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් නිරෝධායනයට යොමු කිරීමට ක්‍රියා කිරීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. විශේෂයෙන්ම මෙහිදී සිදුව ඇත්තේ නිරෝධායන නීති හා රෙගුලාසි දඩමීමා කරගනිමින් ආණ්ඩුවට එල්ලවන විරෝධතා මැඩ පැවැත්වීමටත්, ජනයාගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කිරීමටත් කටයුතු කිරීම බැව් බොහෝ දෙනාගේ අදහසයි. අප "වැඩබිම" ලෙස වෘත්තීය සමිති ක්‍රියාධරයින් කිහිපදෙනෙකුගෙන්ම මේ පිළිබඳ විමසීමේදී ඔවුන් කියා සිටියේද එවැන්නකි.
 
මේ නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් දැක්වූ අදහසයි.
 
" අධිකරණය විසින් මේ අය බන්ධනාගාර ගත කිරීමක් ප්‍රතික්ෂේප කර තිබියදී, ඒසේත් නැතිනම් ඔවුන්ට ඇප දීමට තීරණය කර තිබියදී.. නිරෝධායනයට යොමු කරවීමට අධිකරණයට බලයක් නෑ කියන එකත් කියා තිබියදී තමා මේ කටයුත්ත සිද්ධවෙන්නෙ. 
 ඒ් නිසා අධිකරණ තීරණයක් නොමැතිව කෙනෙකු නිරෝධායනයට යොමු කර‍වනවානම් ඒ් සඳහා අයිතිය තියෙන්නෙ සෞඛ්‍ය බලධාරීන්ටයි. සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගයක් හෝ නොමැතිව පොලීසිය විසින් මේ අය නිරෝධායනය යන නාමය යටතේ ඇත්ත වශයෙන්ම බන්ධනාගාර ගත කිරීමක් තමා මේ කරන්නේ. අධිකරණ නියෝගයක් නොමැතිව පොලීසිය විසින් පුද්ගලයින් බන්ධනාගාර ගත කරන්න පටන් අරන් කියලා තමා මට කියන්න තියෙන්නෙ. නිරෝධායනය කිරීමත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටිනවා.  පොලීසිය විසින් බන්ධනාගාර ගත කිරීමේ හෝ නිරෝධායනය කිරීමේ අයිතිය බාර අරන් තියෙනවා. මේක භයානක ප්‍රවණතාවක්. මේ මර්දනය පරාජය කිරීමට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය මතු නොව සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ජනතාව පෙළ ගැසීමේ හදිසි අවශ්‍යතාවක් තියෙනවා"  
 
රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ්, "වැඩවිමට" අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
 
"නිරෝධාන නීතිය කියන්නේ මිනිස්සු මර්දනය කරන්නට පාවිච්චි කරන එකක් නෙවෙයි. මිනිසුන්ගේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පාවිච්චි කරන එකක්. කෙනෙකු නිරෝධායනය කිරීමේ අරමුණ ඒ කෙනාගෙන් තව කෙනෙකුට රෝගය බෝවීම වැළැක්වීමයි. දැනට අත්අඩංගුවට ගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් රෝග තත්ත්වයක් ගැන කිසිම සඳහනක් නෑ. මේ අයට බෝවීමක් ගැන ඇඟවීමකුත් නෑ. රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් මැදිහත්වීමක් දකින්නත් නෑ. උසාවියෙන් නිදහස් කරපු අය පොලීසිය විසින් ඉතාම නරක ලෙස බස් රථයක පටවාගෙන නිරෝධායනය සඳහා ගෙන යනවා. ඒ් සඳහාම විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් යොදවා එතැන ගාල ගෝට්ටියක් ඇති කරවා ගන්නවා. රටේ නිරෝධායන නීතියට අනුකූලව විරෝධය දක්වන පිරිස් වෙත කඩා පැන පොලීසිය මැදිහත්වීමත් සමග තමා නිරෝධායන නීති උල්ලංඝණය වෙන්නෙ. නිරෝධායන නීති උල්ලංඝණය වෙන්නේ පොලීසිය සමග සියලුදෙනා ගැටීමෙන්. එහෙම නම් පොලීසියේ අයත් නිරෝධායනයට යොමු කළ යුතුයි. එහෙත් තෝරාගත්තු පිරිසක් පමණක් නිරෝධායනයට යොමු කිරීම මගින් පැහැදිලිවම නිරෝධායනය කියන සෞඛ්‍ය වචනය, මර්දනය සඳහා  ආයුධයක් ලෙස භාවිතයට ගෙන තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මෙයින් සෞඛ්‍ය සේවාවෙ රෙගුලාසි මිනිසුන් විසින් හෑල්ලුවට ලක්කිරීමක් සිද්ධවෙනවා. ඒ්වා මිනිසුන් විසින් පිළිනොගන්නා තැනට පත්වෙනවා. එහෙව් තත්ත්වයක වසංගතයක් පාලනය කිරීමට බෑ.  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මාර්ගෝපදේශ නිකුත් කිරීමේදී මේ ගැන සැලකිලිමත් විය යුතු වෙනවා"
 
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසන් වරට නිකුත් කර පවත්නා මාර්ගෝපදේශ නිවේදනය පිළිබඳවද රවි කුමුදේශ් මෙසේ කියා සිටියේය.
 
"අවසන් වරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශවල උද්ඝෝෂණ පැවැත්වීම, විරෝධතා දැක්වීම නොකළ යුතුයි වැනි දෙයක් ගම්‍ය වෙනවා. ඔහුට වුණත් එහෙම රෙගුලාසි නිකුත් කරන්න බෑ. ඔහු රෙගුලාසි පැනවිය යුත්තේ රෝගය බෝවීම වැළැක්වීම සඳහා පනවා ඇති ක්‍රමවේද උල්ලංඝණය කරමින් උද්ඝෝෂණය කළ නොහැකියි. විරෝධතා දැක්විය නොහැකියි කියල පමණයි. ඒ් නිසා මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය සෞඛ්‍ය සේවාවට අදාළව නිකුත් කළ එකක් නොවන බව පැහැදිලියි. මේ විදිහට ගියොත් රටේ සෞඛ්‍ය නීතිය වල් වදින එක වළක්වන්න බෑ"
 
ලංකා වතු සේවක සංගමයේ සභාපති චතුර සමරසිංහ පැවසූයේ මෙවන් අදහසකි.
 
"කොරෝනා වසංගතයට ලංකාවට ඇවිත් දැනට අවුරුදු දෙක හමාරක් පමණ වෙනවා. මේවන තෙක් මිනිසුන්ගේ අරගල මැඩපවත්වන්න උත්සාහ කිරීමක් තිබුණෙ නෑ. වැඩකරන පංතියේ මිනිස්සුත් සෞඛ්‍ය නීති රීති වලට අනුගතව තමා තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් ගෙන ගියේ. ආණ්ඩුවටත් වඩා වසංගතයෙන් මිනිසුන් බේරා ගැනීමට අපට අයිතියක් හා වගකීමක් තියෙනවා. නමුත් පොදු ප්‍රවාහනය, කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තම මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන ආණ්ඩුවට කිසිදු වග විභාගයක් නෑ. කොවිඩ් එන්නත් ගහන තැන්වලත් දහස් ගණන් පෝලිම්, පොදි ගැසීම් තියෙනවා. ඒ්වා කළමනාකරණය කරගන්නවත් වැඩපිළිවෙළක් නෑ. බලය තියෙන අයට මේ නීති රීති බලපාන බවක් පෙන්න නෑ. කුරුණෑගල ‌පොලීසිය තුළ පවා පිටස්තර පුද්ගලයින්ට උපන්දින සාද පවත්වනවා. මෙම පහරදීමේ හා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සිදුවූ දිනය ගත්තත්, ආණ්ඩුයේ දිවුරුම්දීම් සැමරීම සඳහා මිනිසුන් පොදි ගැසී රතිඤ්ඤා පත්තු කරන්න, කිරිබත් කන්න, සාද පවත්වන්න පුළුවන්. ඒ් අයට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ආණ්ඩුව විසින් ගෙන යන අදූරදර්ශි, අත්තනෝමතික, රටට අහිතකර තී‍ර‍ණ වලට එරෙහිව මිනිසුන් පාරට බහිද්දී පමණක් මෙම නිරෝධායන නීති හරස් කරනවා. අද වන විට සෞඛ්‍ය බලධාරීන් පවා තීන්දු ගන්නෙ සෞඛ්‍ය ආරක්ෂාව මත පදනම්ව නොව ආණ්ඩුවේ දේශපාලන වුවමනාවටයි. අධිකරණයෙන් ඇප දුන්නත් මේ පිරිස බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කරවන්නෙ ඒ්කයි. කෙනෙකු නිරෝධායනයට යොමු කරවනවාද නැද්ද යන්න තීරණය කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්‍ මිසක් පොලීසිය නෙවෙයි. මේ මොහොතේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාව ආරක්ෂා කිරීමේ සැබෑ වුවමනාවක් ආණ්ඩුවට තිබේ නම් රටට, ජනතාවට අහිතකර පනත් නොගෙන ඒ්මට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වැනි අහිතකර පනත් නොගෙන ආ යුතුයි. එවැනි අහිතකර පනත් ගෙන එන්නේ නම් ඒ්වාට එරෙහි වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තිය ප්‍රකාරව පවත්නා අදහස් ප්‍රකාශ කිරීමේ, භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, විරුද්ධවීමේ හිමිකම තිබෙනවා. ඒ් හිමිකම සෞඛ්‍ය නීති රීති වලින් වහන්න බෑ." 
 
ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම් කල්ප මධුරංග ද 'වැඩබිමට' තම අදහස් එකතු කළේය.
 
"එක රටක් එක නීතියක් කීවට ඒ්ක ඒ් ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවෙන බව අපි හැමෝටම පෙනෙන කාරණයක්. කිරිබත් කන අයට වෙන නීතියක් කියන එක පැහැදිලිවම පෙනෙන දෙයක්. මේවන විට රට පුරා විරෝධතා රැළි ගණනාවක් මතුවෙමින් තියෙනවා. ඒවා තුළින් ජනතාව නඟන චෝදනාවන්ට, ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් දෙන්නට රජයට බැරිවුණාම කළ හැක්කේ ගහලා මර්දනය කිරීමයි. ඉතිං ආණ්ඩුව මේ කරමින් ඉන්නේ ජනතා ගැටළුවට තමන්ට උත්තර නැති නිසා ඒ්වාට මර්දනයෙන් උත්තර දීමයි. ඒ්ක තමා මේ වෙන්නෙ. ගොවියො, ධීවරයෝ, ශිෂ්‍යයෝ, කර්මාන්ත ක්ෂේත්‍රයේ, රාජ්‍ය සේවයේ, ගුරුවරු මේ හැමෝම විවිධ තැන්වලින් විවිධ ගැටළු සමගින් අරගලයට එකතුවී සිටිනවා. මෙවැනි තත්ත්වයක ආණ්ඩුවට අවශ්‍ය නමුත් රටට, ජනතාවට අනවශ්‍ය අණ පන‍ත් ගෙන ඒ්මට කටයුතු කරමින් සිටිනවා. එහිදී ඊට එරෙහිවන පිරිස් මර්දනයට තමා ආණ්ඩුව මෙම නිරෝධායන නීති රීති යොදාගනිමින් සිටින්නෙ. නිදහස උදෙසා සිසු ජන ව්‍යාපාරය තමා මෙි විරෝධතාව සංවිධානය කර තිබුණේ. ඒ්කට වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු සහයෝගය දැක්වූවා. ඒ් අවස්ථාවේදී පොලීසිය විසින් නිරන්තරයෙන් උත්සාහ කළේ අනවශ්‍ය පීඩනයක්, කලබලයක් ඇති කරමින් මේ පිරිස විසිරවීමටයි. එතැනදී පොලීසිය විසින් තමා ඇත්තටම නිරෝධායන නීති උල්ලංඝණය කළේ. මීටරයේ පරතරය තියාගෙන හිටපු පිරිස් එකම තැනකට තල්ලු කරලා, ගාල් කරලා, පොලීසියේ සීයක් විතර එකවර කඩා පැනලා, සෞඛ්‍ය අවදානමක් ඇති කළේ පොලීසියයි. මේ වෙද්දි හමුදාව පවා මේ කටයුත්තට දායක කර ගනිමින් ඉන්නවා. ඒ් අනුව රජය විසින් ගෙන එන නීති රීති ඔවුන් විසින්ම උල්ලංඝණය කරමින් ඉන්නවා. රටේ සාමාන්‍ය නීතිය පවා උල්ලංඝණය කරනවා. ඊයේ දිනයේ රට පුරා තැනින් තැන උත්සව පවත්වමින් කිරිබත් කන ජනතාවක් හිටියා. ඔවුන්ට එරෙහිව මෙම නීතිය ක්‍රියාත්මක වන බවක් අපි දැක්කෙ නෑ." 
 
මේ සිදුවෙමින් පවතින්නේ ඉතාම නරක ආදර්ශයකි. ස්වකීය දේශපාලන බලපුළුවන්කාරකම් වෙනුවෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා පැහැර ගැනීමකි. නිවරදි දේට නිවරදියි කියන්නට මෙන්ම වැරදි දේට වැරදියි කියන්නටද පුරවැසියාට අයිතියක් තිබිය යුතුය. ඒ් අයිතිය උල්ලංඝණය කරන්නේ නම්, එකී අයිතිය කවුරුන් හෝ පැහැර ගන්නේ නම් ඊට එරෙහිවීමද, බලමුළු ගැන්වීමද සක්‍රීය පුරවැසියන්ගේ වගකීමකි.
 
 
- පී.ඩබ් මුතුකුඩආරච්චි