කොවිඩ් වලට මුවා වූ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ පෙළගැසෙති

  කොවිඩ් වලට මුවා වූ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව වෘත්තීය සමිති නායකයෝ පෙළගැසෙති
කොවිඩ් වලට මුවාවෙමින් එල්ල කරන ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව පෙළගැසිය යුතුව ඇති බව පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
 
අද කොළඹ කොටුවේ ලංකා ගුරු සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කළේය.
 
එහි සම කැඳවුම්කරුවන් වන රංජන් සේනානායක සහ සිල්වෙස්ටර් ජයකොඩි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිවේදනයක වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
 
සෙලන්දිවා හරහා රාජ්‍ය දේපළ විකිණිමට එරෙහිව, මුතුරාජවෙල වැනි පරිසර පද්ධතීන් විනාශයට එරෙහිව, ගොවිජනතාවට මුහුණ පා සිටින පොහොර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසට, ඉන්ධන මිල ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමට එරෙහිව, අසාධාණ වු වැඩ තහනම් කිරීම්වලට එරෙහිව, එක්ස්ප්‍රස්පර්ල් නෞකාව මඟින් සිදුවු පරිසර විනාශයට හා එමඟින් ධිවර ප්‍රජාව ඇතුළු ශ්‍රී ලාංකිකයින්ට සිදුවු අහිතකර තත්ත්වයන්ට විසඳුම් ලබාදෙන ලෙසට, නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් වන කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව මේවන විට රටපුරා විවිධ උද්ඝෝෂණ දියත් වෙමින් පවතී. ආණ්ඩුව කොවිඩ් සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුවා වෙමින්, එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපදිමින් සිය විරෝධය දක්වන සමාජ ක්‍රියාකාරීන් ඇතුලු වෘත්තීය සමිති නායකයින්වද පොලිස් මැර බලය යොදා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටී. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සිදුකරන සාධාරණ හා සාමකාමී ජනතා උද්ඝෝෂනයන්ට නායකත්වය ලබාදුන් පිරිස් අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
 
, එක රටක් එක නීතියක් , යැයි පුරසාරම් දොඬවන පාලකයින් විසින් තමන්ට හුරේ දමමින් රටපුරා කිරිබත් කමින්, මුව ආවරණ පවා නොමැතිව පෙළපාලි යන අයට එරෙහිව පොලිස් මර්ධනය හා නිරෝධායන නීති ක්‍රියාත්මක කර නොමැත. ඒ වෙනුවට ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් ජනතාව පීඩාවට පත්කරන රජයේ තීරණයන්ට එරෙහිව හඬ නැගීමට සිවිල් සංවිධාන ඇතුලු මහජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මර්දනය කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුවා වෙමින් අනීතිකව ක්‍රියාත්මක වී නැත.
 
මෙම අසාධාරණ වු ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනය වහා නවතා කම්කරුවන් ඇතුලු පීඩිත ජනතාව පෙන්වා දෙන ගැටලු විසදීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.
 
තවද, අත්අඩංගුවට පත් වෘත්තීය ක්‍රියාධරයින් අධිකරණයෙන් ඇප ලබා නිදහස් කරනු ලැබුවද නැවත වරක් එම සහෝදරයින්ව නිරෝධායනය සඳහා යොමු කොට ඇත. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංඝණය කරමින් බැසිල් ඇමතිවරයාගේ පත්වීම වෙනුවෙන් හුරේ දැමු, පෙළපාලි ගිය අයට එම නිරෝධාන නීතිය ක්‍රියාත්මක කර නොමැත. එක රටක් තුළ නීති දෙකක් ක්‍රියාත්මකවීම හා පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ ආණ්ඩුවේ ලයිසන් ලැබු මැරයන් සේ හැසිරෙමින් කාන්තාවන් සහ වයස්ගත සමාජ ක්‍රියාකාරීන්ට පවා හිරිහැර කරමින් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ඒකරාශීවීමේ නිදහස මර්දනය කිරීම තුළ අප රට උගන්ඩාවක්, හයිටියක් වන දිනය වැඩි ඈතක නොවන බව සංවේගයෙන් යුතුව වාර්තා කර සිටිමු.
 
මේවන විට අප වෙත සෘජුවම ක්‍රියාත්මක වී ඇති මෙම මර්දනය හෙට දිනයේ ඔබ වෙතද, රටේ මහජනතාව වෙතද ක්‍රියාත්මකවීමේ පැහැදිලි අවදානමක් ඇත. ආණ්ඩුවේ අනුදැනුම පිට ඇතැම් පොලීස් නිලධාරීන් මාධ්‍යවේදීන්ට එල්ල කළ තර්ජන හා මර්දනයන්ද ඊයේ දිනයේදි අපි පැහැදිලිව දුටුවෙමු.