සෞඛ්‍ය අමාත්‍යවරිය “ස්ටාලින්ලා“ පටලවා ගෙන

සෞඛ්‍ය අමාත්‍යවරිය “ස්ටාලින්ලා“ පටලවා ගෙන

පොලිස් අමාත්‍යවරයා නිරෝධායන අත්අඩංගුවට ගැනීමේ වරද සෘජුවම සෞඛ්‍ය අමාත්‍යාංශය පිට පටවා ඇත. පරීක්ෂණ වාර්තා මගින් ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇති   ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් තවදුරටත් රඳවා තබා ගැනීම පිළිබඳව සෞඛ්‍ය සේවාව වග කිව යුතුය. නිරෝධායන අත්අඩංගුව පිළිබඳව පොලිස් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකරන සෘජු හෝ චෝදනාව පිළිබඳව විමර්ශනයක් කළ යුතුය.

රුසියාවේ ස්ටාලින් සහ ලංකාවේ ජෝසෆ් ස්ටාලින් පටලවාගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරිය බැරෑරුම් අවස්ථාවක රටට විහිළු සැපයීම නොකල යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහත තීරණ වසංගත විද්‍යාවට අදාලවම ගණු ලැබූ ඒවාද යන්න පිළිබදව බරපතල සැකයක් පවතින බැවින්, ඒවා පිළිබද නිසි විමර්ශනක් සිදු කර රටට කරුණු වාර්ථා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්.

  1. උක්ත අත්අඩංගුවට ගැනීම් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට ලියන ලද ලිපියක් පාදක කරගෙන ඇති බව වාර්තා වන අතර එම ලිපියෙහි අභිලාශය වසංගතය පාලනය කිරීමද? එසේ නොමැති නම් වසංගතය මුවාවෙන් උත්ඝෝෂණ  හා විරෝධතා පාලනය කිරීමද? යන්න පිළිබඳවත්, එම ලිපියෙහි අභිලාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙන්නේද? යන වග
  2. පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී වසංගතය පැතිරීමට ඉවහල් වන අයුරින් කටයුතු සිදු වූයේද? නැද්ද? යන්න වග හා එම කණ්ඩායම් නිරෝධායනය කල යුතුද? නැද්ද? යන්න පිළිබඳව වසංගත විද්‍යානුකූලව තීන්දු ගනු ලැබිය යුත්තේ එම ප්‍රදේශයට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ප්‍රමුඛ කොට ගනිමින් වන අතර උක්ත කණ්ඩායම බලහත්කාරයෙන් කඳවුරු නිරෝධායනයට යොමු කල යුතු බවත් ඊට අදාල සුදුසුම නිරෝධායන මධ්‍යස්ථානය මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වන බවත් නිවෙස් නිරෝධායනය වැනි විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කල නොහැකි බවත් අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා විසින් නිර් දේශ  කර තිබෙන්නේද? එසේ නිර් දේශ කර ඇත්නම් එම නිර් දේශයේ අභිලාශය වසංගත පාලනයට පමණක් අදාල වන්නේද? යන වග.
  3. අදාල “නිරෝධායන රැඳවියන්ගේ” පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන වල සිදුවන ක්‍රියාවලියට සමාන අයුරෙන් සිදුවූයේද? එසේ නොමැතිනම් අනෙකුත් මධ්‍යස්ථාන වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ කිසිඳු පීසීආර් පරීක්ෂණයක් සිදු නොකරන තත්ත්වයක් යටතේ මෙකී කණ්ඩායමෙහි පමණක් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට වෙනත් අභිලාශයක් පැවතියේද? යන්න හා එලෙස සුවිශේෂී ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා වසංගතය පාලනය කිරීමේ අභිලාශයෙන්ම පමණක් අදාල සෞඛ්‍ය නිළධාරියා කටයුතු කලේද? යන වග
  4. අදාල කණ්ඩායමෙහි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල 2021.07.10 දින නිකුත් වී ඇති අතර එම කණ්ඩායම අසාධිතයන් නොවන බව එම පරීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරුව තිබියදී තවදුරටත් ඔවුන්ව කඳවුර තුල රඳවා තබා ගන්නේ සෞඛ්‍යමය උවමනාවක් වෙනුවෙන්ද? යන වග හා අවම වශයෙන් ඔවුන්ව නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට නිර් දේශ නොවන්නේ කිනම් හේතුවක් නිසාද? යන වග.
  5. මෙම ක්‍රියාවලියේදී අඩු වැඩි වශයෙන් පොලිස් නිළධාරීන්ද නිරෝධායන නීති කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උල්ලංඝණය කර ඇති බැවින් ඔවුන් හරහා වසංගතය පැතිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව වසංගත රෝග විද්‍යාව වෙනස් ආකාරයකට ක්‍රියාත්මක කර තිබෙන්නේ කෙසේද? යන වග

ශ්‍රී ලංකාවේ සිට කෝවිඩ් ආසාදිතයන්, ආසාදිත නොවන වාර්තා රැගෙන පැමිණීම හේතුවෙන් පෞද්ගලික රසායනාගාරයක වාර්ථා පිළි නොගන්නා බව චීනය නිවේදනය කර ඇත. ආගමනිකයන්ගේ, සංචාරකයන්ගේ හා විදේශිකයින්ගේ මුදල් ගෙවා සිදුකරන PCR පරීක්ෂණ වලින් 90%ක් පමණ සිදු කල එම රසායනාගාරය  මගින් වැරදි වාර්තා නිකුත් වීම, ලංකාවේ ප්‍රභේද කාන්දු වීමට ප්‍රධාන හේතුවක්. PCR පරීක්ෂණය සිදු කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ   වෘත්තිකයාගේ අත්සන නොමැතිව, වෛරස වේදියකුගේ අත්සනෙහි ඡායාරූපයක් මගින් වාර්තා නිකුත් කිරීමට ඉඩ සැලසීම හේතුවෙන්, පෞද්ගලික අංශය හරහා වැරදි වාර්තා නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුබල දී ඇත.

එක් එක් පුද්ගලයන්ගේ මුදල් හම්බකර ගැනීමේ කූඨ උපායන් සෞඛ්‍ය අමාත්‍යාංශය උගුලක හිරකරලා. එකී කූඨ උපායන් හඳුනා නොගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේත් අත්වැරැද්දක්ද? උවමනාවක්ද?

රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය