සංවර්ධන නිලධාරින් අද සිට ඉල්ලිම් ඉල්ලා උද්ඝෝෂණයක

සංවර්ධන නිලධාරින් අද සිට ඉල්ලිම් ඉල්ලා උද්ඝෝෂණයක

Covid අවධානම් දීමනාවක්,  උසස්වීම් පටිපාටියක්, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ජූලි 19 සිට රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ එක් ලක්ෂ හැටදහසකට (160 000) පමණ සංවර්ධන නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර හා කාර්යාලගත නිලධාරීන්ට වෘත්තිමය වශයෙන් බලපාන ගැටළු කීපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් 2021 ජූලි 19 සිට රට පුරා සියලූම දිස්ත්‍රික් ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය තීරණය කර ඇත.

Covid-19 වසංගත තත්වයට අදාළව නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අදාළව මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Covid-19 අවධානම් තත්වය හමුවේ විවිධාකාරයෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහනයක් ලබා දීමට ආණ්ඩුව අසමත්ව ඇත. බඩුමිල ඉහළ දැමීම, ඉන්දන මිල ඉහල දැමීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන්වල මිල දිගින් දිගටම ඉහළ යාම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි නොකිරීම ඇතුළු ගැටළු හේතුවෙන් රාජ්‍ය සේවකයින් ඇතුළු වැඩ කරන ජනතාවට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුව ඇත.

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට හා මිලිටරීකරණයට පාර කපන කොතලාවල පනත කරලියට ගෙන එමින්, විදෙස් රටවලට ලාංකීය භූමිය කොටස් කර විකුණමින් කරමින් ආණ්ඩුව Covid-19 යෙන් රට වසංගතයට මුහුණ දුන් කාලසීමාව තුළ විවිධ අණපනත් ගෙන එන ලදි. මෙවැනි වසංගතයක් යටතේ ආණ්ඩුවට එවැනි කටයුතු කිරීමට හැකියාවක් තිබුණි. නමුත් වෘත්තිය ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කිරීමට ආණ්ඩුව උනන්දු නොවුණි. එමනිසා වෘත්තීය සමිතිවලට අදාළ ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කිරීමට අදාළව විරෝධතාවයන් පැවැත්වීම බාධාවක් මතුවිය නොහැකි බව විශ්වාස කරමු.

ඒ අනුව මූලික ඉල්ලීම් 11 මුල් කර ගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට අයත් සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු ක්ෂේත්‍ර හා කාර්යාලගත නිලධාරීන් සංවර්ධන නිලධාරී සේවා සංගමය ලෙස විරෝධතාවයට සූදානමින් සිටී.

  • අත්‍යාවශ්‍ය සේවාවන්වල නිරත සංවර්ධන නිලධාරීන්, අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු ක්ෂේත්‍ර හා කාර්යාලගත නිලධාරීන් සඳහා Covid-19 අවධානම් දීමනාවක් ලබා දීම,
  • උසස්වීම් පටිපාටියක් ලබා දීම,
  • වැටුප් විෂමතා ඉවත්කර මූලික වැටුප හා වැටුප් වර්ධක ඉහළ දැමීම,
  • සුදුසු නොවන රාජකාරී පැවරීම නවතා සුදුසු රාජකාරි පැවරීම,
  • අභ්‍යාසලාභී පුහුණු කාලය ස්ථීර සේවා කාලයට එකතු කිරීම,
  • අභ්‍යාසලාභී උපාධිධාරීන් නියමිත දිනට ස්ථීර කිරීම,
  • අභ්‍යාසලාභී උපාධිධාරී මාසික දීමනාව රු.30 000/- කිරීම,
  • ජනවාරි සිට අප්‍රේල් දක්වා හිඟ වැටුප් ලබා දීම,
  • 2016 සිට අහිමිකර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමය ලබා දීම,
  • සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරු සේවයේ පුරප්පාඩු සඳහා අන්තර්ග්‍රහණය කිරීම,
  • වෘත්තීය හිමිකම් හිමිවන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

ඉහත ඉල්ලීම් මුල් කරගනිමින් ජූලි මාසය තුළ පහත සඳහන් දිස්ත්‍රික්කවල උද්ඝෝෂණය පැවැතවේ.

ජූලි 19 - කුරුණෑගල දවල් 12 කුරුණෑගල නගරය,

ජූලි 20 - බදුල්ල දවල් 12 බදුල්ල නගරය,

ජූලි 27 - රත්නපුර දවල් 12 රත්නපුර නගරය,

ජූලි 28 - අනුරාධපුර දවල් 12 අනුරාධපුර නගරය.