කොවිඩ් පාලනයට නිසි තීරණ නොගන්නා නිළධාරීන්ට දඩුවම් ලබාදිය යුතුයි

කොවිඩ් පාලනයට නිසි තීරණ නොගන්නා නිළධාරීන්ට දඩුවම් ලබාදිය යුතුයි

කොවිඩ් පාලනයට අදාළව අමාත්‍යාංශයේ ක්‍රමවේදයක් තිබේද යන්නත් අපැහැදිලියි. PCR පරීක්ෂණ සිදුකිරීම අකර්මණ්‍ය කරමින්, ප්‍රභේද පරීක්ෂණ සඳහා පහසුකම් නොදෙමින් හා රජය ප්‍රතිපාදන ලබා දී ඇති අත්‍යාවශ්‍ය උපකරණ ලබා නොදෙමින්, කොවිඩ් පාලනය කිරීමේ ක්‍රමය රටට පැහැදිලි කරන ලෙස අප සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ඔක්සිජන් සැපයුමට අදාලවත්, ස්ථානීය PCR පරීක්ෂණ වලට හා වෙනත් කොවිඩ් සදහා අත්‍යාවශ්‍ය යන්ත්‍ර වර්ග 20කට අධික ප්‍රමාණයක් හදිසි මිලදී ගැනුම් සදහා ජුනි මුල් සතිය තුල අවසන් කළ ටෙන්ඩර සදහා නියමිත තීරණ ලබා නොදෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කල් මරමින් සිටින්නේ, තමන්ගේ ගජ මිතුරන්ට අවස්ථාව ලැබෙන තුරුද යන්න විමර්ෂණය කිරීම රජයේ වගකීමක් බව අප අවධාරණය කරමු.

කොවිඩ් පාලනය සදහා අත්‍යාවශ්‍ය උපකරන වන වෙන්ටිලේටර්, බයි පැක්, හයි ෆ්ලෝර්, ඔක්සිජන් කොන්සෙන්ට්‍රේටර්ස්, ඔක්සිජන් සිලින්ඩර්ස්, රෙගුයුලේටර්ස් ඇතුළු ඔක්සිජන් තෙරපි උපකරණ රැසක් සහ ස්ථානීය PCR පරීක්ෂණ යන්ත්‍ර, ප්‍රභේද අනුමාන PCR ප්‍රතික්‍රියක, වැනි අවශ්‍යතා විස්සකට අධික ප්‍රමාණයක් සඳහා රජයේ ප්‍රතිපාදන ලබාදී තිබියදී, අදාල ටෙන්ඩර සදහා අවසාන තීරණය ලබා දීම මාස දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇත.

එම ටෙන්ඩර ප්‍රකාශයට පත් කර ඇත්තේද හදිසි අවශ්‍යතාවය මත කෙටිකාලීනව ලබාදිය හැකි සමාගම්වලට ප්‍රමුඛතාවය ලබා දීමේ පදනමින් වන අතර, ඒ නිසාම සාමන්‍ය ටෙන්ඩර් පටිපාටියට බැහැර යමින් දින 3-5 කාලයකදී ලංසු තැබීම පවා අවසන් කර ඇත. නමුත් මාස දෙකකට ආසන්න කාලයක් තුල එම ටෙන්ඩර් පිළිබද තීනිදු නොගැනීමෙන් එකී හදිසිය පවා ඉතා සැක කටයුතු වී ඇති අතර, තමන්ගේ ගජමිතුරන් අදාල උපකරණ ගෙන්වා ලියාපදිංචිකර, ලබාදෙනතුරු ඇතැම් නිළධාරින් එම තීරණ ගැනීම් වලක්වමින් සිටින බවද වාර්ථාවේ.

ඒ අනුව කොවිඩ් වසංගතයේ හදිසියට වඩා ව්‍යාපාරික ගජ මිතුරන්ගේ අවශ්‍යතාවය සලකමින් තීරණ නොගෙන සිටින ස්වභාවය රට නැවත කොවිඩ් රැල්ලකට තල්ලු කිරීමට හේතුවක් වෙමින් තිබෙන බැවින්, මේ මොහොතේ තීරණ නොගෙන ලිපිගොණු සමග බිස්නස් කරමින් සිටින නිළධාරීන්, හතරවෙනි කොවිඩ් රැල්ලක් මතු වුවහොත් ඊට දඩුවම් ලැබිය යුතුය. එසේම එවන් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් රට තවදුරත් වන්දි ගෙවිය යුතුද යන්න පිළිබදව රජයේ විමසීමට ලක් විය යුතුය.

පළමු කොවිඩ් රැල්ල අවසානයේදීද ඇතැම් නිළධාරීන් විසින් "කොවිඩ් ඉවරයි, හදිසියක් නෑ" කියමින් තීරණ ගැනීමත් ගජමිතුරු ව්‍යාපාරිකයින්ට අවශ්‍ය ආකාරයට සිදු කිරීමත් නිසා, නැවත නැවත කොවිඩ් රැලිවලට මුහුණ දීමට සිදු විය. නමුත් වැරදි තීරණ ගන්නා නිළධාරීන්ටත් වඩා වැඩි ව්‍යසනයක්, ඉහල සෞඛ්‍ය පුටු රත් කරමින් නිසි තීරණ නිසි කලට නොගන්නා නිළධාරීන්ගෙන් සිදුවන බව අප මෙහිදී අවධාරණය කරමු.

රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය