අඹු දරු රැකුමට ලැබෙන සොච්චම ඔන්ලයින් වලට වැය කළ දිසාපාමොක් ඇදුරු පරපුර

අඹු දරු රැකුමට ලැබෙන සොච්චම ඔන්ලයින් වලට වැය කළ දිසාපාමොක් ඇදුරු පරපුර

"ගුරුවරු මොනවා හරි කරලා, තැන් තැන්වලට ගිහිල්ලා හරි ඉගැන්නීම කරනවා... ඒ නිසා ගුරුවරුන්ටත් ප්‍රශ්න තියෙනවා බරපතලවම. සමහර ඉස්කෝලවල, අපි ගනිමු .... විද්‍යාලයේ, IT ගුරුවරයා ඉන්න ගමට සිග්නල්වත් නෑ. ඒ වගේ අපහසුතා ගොඩක් මැද්දේ තමයි ගුරුවරු මේ වැඩේ කරන්නේ."

මෙසේ BBC සිංහල සේවය සමඟ අදහස් පළකළේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල කොට්ඨාසයේ ඌව විද්‍යා විද්‍යාලයයේ ගුරුභවතෙකු වන ප්‍රියන්ත වරුසමාන යි.

"ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ලැබෙන්නේ ඉතාම අඩු වැටුපක්. ඒ වැටුප වියදම් කරලා තමයි, ස්වේච්ඡාවෙන් ගුරුවරු විදුහල්පතිවරු සාකච්ඡා කරලා, තමන්ගේ යුතුකමක් විදියට මේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා තමන්ගේ අතින් වියදම් කරලා, ඒකට අදාළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ආදිය මිල දී ගෙන ණයවෙලා, ඊළඟට ඒකට අදාළ ඩේටා දාගෙන, ඒකට අදාළ සූම් පැකේජ් දාගෙන මේ උගන්වන්නේ, අධ්‍යාපන අමාත්‍යංශය හෝ රජය හෝ කිසිදු වගකීමක් අධ්‍යාපනය සම්බන්ධව මාස දාසයක් තිස්සේ කරන්නැතුව අත්ඇරලා ඉන්න මොහොතක."

ලංකා ගුරුසේවා සංගමයේ ඌව පළාතේ උප ලේකම් තනතුරක් හොබවන වරුසමාන ගුරුතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

වැටුප් විෂමතා සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ආදී කාරණා කීපයක් මුල්කරගනිමින් රජයේ පාසැල්වල ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස ජුලි 12 දා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට අවතීර්ණ වූහ. ජුලි 14 වන දා රැස්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ ප්‍රකාශයක් මෙහිදී ගුරුවරුන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දැඩි විවේචනයට ලක්විය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල


"හතළිස් තුන් ලක්ෂයක් මේ රටේ ඉන්න ඒ දරුවන් බලාපොරොත්තු වෙන තමන්ගේ ගුරු දේවයන් විදිහට ඉන්න කණ්ඩායම මෙහෙයවනවා නම් කවුරු හරි කිහිප දෙනෙක්, ඉතාමත් කාලකන්නි කණ්ඩායමක් විදිහටයි මට සලකන්න වෙන්නේ," ලෙසින් අමාත්‍යවරයා කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක් වූ අතර, බොහෝදෙනා අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළා දකිමින් විවේචනාත්මක අදහස් ඉදිරිපත්කර තිබුණි.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ම පසු දිනෙක (ජුලි 17) පවසන ලද්දේ, "දරුවන්ට අධ්‍යාපනය දෙන්න ආණ්ඩුව ගන්න ඕනේ පියවර ගන්නවා," යනුවෙනි. කෙසේ වතුදු මින් මසකට පමණ පෙර දී අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශකොට තිබුණේ පාසැල් ළමුන් ලක්ෂ 7කට අධික පිරිසකට ඔන්ලයින් අධ්‍යාපනය ලැබීම සඳහා පහසුකම් නොමැති බව යි.

දරුවන්ගේ අධ්‍යාපනයට අඩු නැතිව පහසුකම් සපයා ඇතැ යි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යවරයා පවසද්දී, ඔන්ලයින් ඉගැන්වීම සඳහා ගුරුවරුන්ට ද අවශ්‍ය පහසුකම් ලබා දී ඇත්දැ යි විමසීමක් කළෙමු.

ඉගැන්වීමේ කටයුතු සඳහා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සම්පත්මය දායකත්වයක් නොලැබීම හාස්‍යයට ලක් කරමින් ලියූ පොස්ටුවක්

| ඉගැන්වීමේ කටයුතු සඳහා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සම්පත්මය දායකත්වයක් නොලැබීම හාස්‍යයට ලක් කරමින් ලියූ පොස්ටුවක්

'අපි උගන්නන්නේ ගස් උඩ පැල් හදාගෙන…'
"උගන්නන ගුරුවරුන්ටත් සිද්ධවෙලා තියෙනවා අර සාමාන්‍යයෙන් ඔය මාධ්‍යවල යනවා වගේ අට්ටාලවල නගින්න, කඳුවල නගින්න. සිග්නල් තැන් හොයාගෙන ගිහිල්ලා තමයි ගොඩක් ගුරුවරු කරන්නේ ඔන්ලයින් පන්ති. ....අපි දන්නා අය ඉන්නවා සමහර, තමන්ගේ ඉඩම්වල සිග්නල් තියෙන තැන්වල ගස් උඩ පැල් එහෙම හදාගෙන තමයි සමහර ගුරුවරු මේ ඔන්ලයින් කරන්නේ."

මේ දිනවල පාසැල් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමේ දී ගුරුවරුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධව කළ විමසීමක දී මොණරාගල, බිබිල අධ්‍යාපන කලාපයේ පුබ්බාර කණිෂ්ට විද්‍යාලයයේ ගුරුවරයෙකු වන රුවන් කුලතුංග එසේ සිය අත්දැකීම ප්‍රකාශ කළේ ය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් ද 60%කට පමණම සිග්නල් අඩුපාඩු ඇති බවත්, කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කිසිදු මාර්ගෝපදේශයක් සපයා නැති බවත්, ගුරුවරුන් ස්වේච්ඡාවෙන් සිදුකරන මේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට පමණක් කලාප අධ්‍යාපන කාර්යාලය මැදිහත් වන බවත් ගුරුවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ය.

අන්තර්ජාල සංඥා සොයන දරුවෝ|අන්තර්ජාල සංඥා සොයන දරුවෝ

ඔන්ලයින් ඉගැන්වීමේ දී මුහුණ දෙන ගැටලු පිළිබඳ උඩුදුම්බර ප්‍රදේශයේ ගුරුවරියකගෙන් විමසූ විට ඈ පිළිතුරු දුන්නේ, "අපේ ඉස්කෝලෙම මම දන්නා ගුරුවරියක් ඉන්නවා, එයා එයාගේ ගෙදර වහලේ උඩට ගිහින් තමයි සිග්නල් හොයාගන්නේ," යනුවෙනි.

ස්වේච්ඡාවෙන් ඉගැන්වීම

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔන්ලයින් ඉගැන්වීමට අවශ්‍ය කරන කිසිදු පහසුකමක් සැපයී නැති බව මෙහිදී එල්ලවන තවත් චෝදනාවකි. ගුරුවරුන්ගේ ඇතැම් වෘත්තීය සමිති මඟින් මේ සම්බන්ධව වැඩමුළු පවත්වා සුළු පුහුණුවක් ලබා දී ඇතත්, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් එවන් පුහුණුවක් නොලැබූ බව ගුරුවරු ප්‍රකාශ කරති. කෙසේ නමුත්, අගනුවර ඇතැම් ජාතික පාසැල්වල ගුරුවරුන්ට සූම් ගිණුමක් පිහිටුවීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය පාසලේ හෝ පන්ති අරමුදල්වලින් ලැබී තිබුණි.

අගනුවර ආසන්න පළාත් සභා පාසැලක ගුරුවරියක BBC හා සඳහන් කළේ එම පාසලේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා මයික්‍රොසොෆ්ට් ටීම්ස් භාවිත කෙරෙන බව යි. මේ නිසා මාස් පතා රු. 10,000කට ආසන්න අන්තර්ජාල සබඳතා බිලක් සිය පෞද්ගලික වැටුපෙන් ගෙවීමට සිදුව ඇති බව ඇය සඳහන් කළා ය.

අනුරාධපුර ප්‍රදේශයේ පාසැලක සේවය කරන ගුරුවරයෙකු මේ තත්ත්වය අපට පැහැදිලි කළේ මෙලෙස ය; "ගුරුවරුන්ට වැටුප් හම්බුවෙන්නේ ළමයින්ට බඩු අරගෙන උගන්නන්න නෙවෙයි. ගුරුවරයාට වැටුප් ලැබෙන්නේ තමන් කරන සේවයට හෝ කාර්යයට, එයාගේ ශ්‍රමය වැගිරීමට ලැබෙන ප්‍රතිලාභයනේ වැටුප. ඒක ලැබෙන්නේ තමන්ගේ අඹුදරුවෝ එක්ක ජීවත් වෙන්න යි. හැබැයි මේ මොහොතේ, මේ සොච්චම් වැටුපක් ලංකාවේ. ඔබ දන්නවා මේ දවස්වල විශාල අර්බුදයකට ලක්වෙලා ඉන්නේ ගුරුවරයා මේ වැටුප් සම්බන්ධයෙන්. එතකොට ඒ අස්සෙත් අපේ ගුරුවරු තමන්ට ලැබෙන ඒ සොච්චම් වැටුප කළමනාකරණය කරගෙන, රුපියල් 20,000 නැත්නම් 30,000, සමහරු ණයට, සමහරු ලෝන් අරගෙන තමයි ෆෝන් එකක් අරගෙන දරුවන්ට උගන්නන්නේ."

ගුරු සේවය 3 - 1 උපාධිධාරී ගුරුවරයෙකුගේ වැටුප් ඉන්වොයිසියකි.|ගුරු සේවය 3 - 1 උපාධිධාරී ගුරුවරයෙකුගේ වැටුප් ඉන්වොයිසියකි

තරුණ වයසේ පසුවන ගුරුවරුන් ස්මාට් දුරකතන, ලැප්ටොප් පරිගණක ආදිය ද, ඉගැන්වීම් සිදු කිරීමට යොදාගන්නා ඇප්ලිකේෂන් යනාදිය භාවිත කරන අයුරු දැන සිටියත්, බොහෝ ගුරුවර ගුරුවරියන්ට එම තාක්ෂණය තනිව ඉගෙනීමට ද සිදුව තිබුණි.

ඇතැම් ගුරුභවතුන් සඳහන් කළේ තමාට අවශ්‍ය උපාංගවල අඩුපාඩු පවතින බව යි. බොහෝ ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතුත්, සිය දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුත් හේතුවෙන් ස්මාට් ෆෝන් මිළට ගැනීමට සිදුවූ බව ඔවුන් ප්‍රකාශ කළේ ය.

"මේ ෆෝන් එක, ලැප් එක අපි හොයාගත්ත උපකරණ. කවුරුත් අපට දීලා නෙවෙයිනේ ඉතින්... උදේ වරුවවල්වල උගන්වන්න බෑ, මොකද අම්මලා ඔෆිස් යනවා කියලා උදේ වරුවවල් බෑ කියනවා. එතකොට ඉතින් අපි හවස කරන්න ඕනේ. හවස කරන්නත් බෑ, දැන් අපේ දරුවනුත් ඉගෙනගන්නවා. අපේ දරුවන්ට නැති වෙලාවක් දාගන්න ඕනේ. ඒ වගේ අපහසුතා ගොඩක් මැද්දේ තමයි මෙතෙක් කල් කටයුතු කරගෙන ගියේ," යි නුගේගොඩ සාන්ත ජෝසෆ් බාලිකා විදුහලේ සේවය කරන ගුරුවරියක සිය අත්දැකීම අප හා බෙදාගත්තා ය.

online
ළමයි ඉගෙනගන්නේ නෑ

ඔන්ලයින් පාසැල් ඉගැනුමට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාවේ ද සැළකිය යුතු මට්ටමේ අඩුවක් පවතින බව ද BBC වෙත මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බහුතරයක් ගුරුවරු ප්‍රකාශ කළෝ ය. නගරබද ජනප්‍රිය පාසැල්වලට සාපේක්ෂව ගම්බද හෝ දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පාසැල්වල මෙම තත්ත්වය ඉහළ බව අපගේ නිරීක්ෂණය විය. අප හා කතාබහ කළ බොහෝ ගුරුවරු, සාමාන්‍යයෙන් ශිෂ්‍යයින් 35 - 40 අතර ප්‍රමාණයක් සිටින පන්තිවලින් ඔන්ලයින් ඉගෙනුම සඳහා පැමිණෙන්නේ සිසුන් 12ත් 20ත් අතර ප්‍රමාණයක් බව පැවසුවෝ ය. මේ දරුවන්ට, එදිනෙදා ඉගැන්වූ විෂය කරුණු සහ ගෙදර වැඩ ආදිය සටහන් ලෙස සකස්කර ඒවායේ ඡායාරූප වට්ස්ඇප් හරහා යවන බව මේ ගුරුවරුන් විසින් කියැවිණි.

බොහෝ දරුවන් ඔන්ලයින් පන්තිවලට සහභාගි වන්නේ කුඩා තිර සහිත ස්මාට් ෆෝන් වැනි උපකරණ හරහා නිසා, සූම් වැනි ඇප්ලිකේෂන හරහා ලබාදෙන ඇතැම් උපාංග උපයෝගී කරගෙන ඉගැන්වීමෙන් දරුවන්ට ප්‍රයෝජනයක් නැති බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මුහුණු පොතේ "ගුරුවිදුහල්පති වෘත්තිකයන් බලගන්වමු" පිටුවෙන්
දෙමාපියන්ට ද නව තාක්ෂණික උපකරණ පිළිබඳ අවබෝධය මඳ හෙයින්, පාසැල් දරුවන් ඔන්ලයින් ඉගැන්වීම් පැවැත්වෙන අතරතුරේ දී දුරකථනය භාවිත කරමින් වෙනත් විනෝද ක්‍රියාකාරකම්වල නියැලෙන බව ද පෙනෙන්නට ඇත.

මෙවන් විවිධ වූ හේතූන් නිසා, ඉගෙනීමට ඇති අවධානය හා උනන්දුව දරුවන් තුළින් බොහෝ දුරට ගිලිහී ඇති බව ඇතැම් ගුරුවරුන් අප හා පැවසුවේ කණගාටුවෙනි.

ගුරුවරු දෙලක්ෂ පනස්දාහකට ස්මාට්ෆෝන් අරන්දෙන්න පුළුවන්කමක් නෑනේ...

ගුරුවරුන් මතුකරන ගැටලු අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත යොමු කළෙමු.

"අපට ගුරුවරු දෙලක්ෂ පනස්දාහකට ස්මාට්ෆෝන් අරන්දෙන්න පුළුවන්කමක් නෑනේ. ඒක සාර්ථකත් නෑනේ, ස්මාට්ෆෝන් එකකින් උගන්නන්න බෑ ළමයින්ට. ඔය ගස්ගල් උඩ නැගලා ළමයි දැඟලුවට, රෑට කවුරුත් ගුරුවරු උගන්නන්නෑ. ඒ රෑට ඉගෙනගන්න යන්නේ ඒගොල්ලෝ ඔය උපකාරක පන්ති කරන ගුරුවරුන්ගේ ඒවා. දවල් කාලේ තමයි ගුරුවරු ඔන්ලයින් කළත්, රජයේ පාසැල්වල ගුරුවරු උගන්නන්නේ. ඉතින් මේවා යම් යම් නිර්මාණ. මේවයේ දුෂ්කරතා හඳුනාගෙන අපි මධ්‍යස්ථාන 2000ක් ඇති කරලා තියෙනවා. ඉන්ටර්නෙට් ෆැසිලිටීස් නැති, යම් උපකරණයක් නැති ළමයින්ට ඒ සෙන්ටර්ස්වලට ඇවිල්ලා දිවා කාලයේ දී ඒගොල්ලන්ගේ පාඩම් වැඩ කරන්න පුළුවන්," යන්න රාජ්‍ය ඇමතිවරයා ගේ ප්‍රතිචාරය විය.

susil Premjayantha not sure about the copyrights on this"සමහර ගුරුවරුන්ට ඇත්තටම ඔන්ලයින් එන්න දුෂ්කරතාවයන් තියෙනවා. ඒ කියන්නේ මේ මේ ෆෝන් එකක් හෝ ලැප් එකක් නැති ප්‍රශ්නෙට වඩා තාක්‍ෂණේ මේ ඒගොල්ලන්ට එකපාර කරන්න අමාරු යි. අපි ගුරුවරුන්ව පුහුණු කරන්න ඕනේ," අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

මතුපිටට නොපෙනුණත්, පළාත් සහ කලාප මට්ටමෙන් පාසැල් විෂයය නිර්දේශයන් බොහෝ දුරට සම්පූර්ණ කර ඇති බවත්, වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට ප්‍රථම ගුරුවරුන් විශාල කාර්යයභාරයක් ඉටුකළ බවත් ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත්, තව මාසයක් ගතවෙද්දී මෙම ගැටලුව මතු නොවන බව පැවසූ අමාත්‍යවරයා, ගුරුවරුන්ගෙන් 80%කට පමණම කොරෝනාවෛරසයට එරෙහි පළමු එන්නත ලබා දී ඇති අතර දෙවන එන්නත ලබාදීම අගෝස්තු මස මැදභාගය වන විට අවසන් වන බව ද, එන්නත්කරණය සම්පූර්ණයෙන්ම අවසන් වී දෙසතියකින් පමණ පාසල් අරඹන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

"පාසලේ පන්ති කාමරයේ තියෙන උගැන්වීම තමයි අපි විශ්වාස කරන්නේ. ඔන්ලයින් එක අපි වගේ රටවල්වල නෙවේ, දියුණු රටවල පවා 100%ක් සාර්ථක කරලා නෑ."

අමන්දා අබේසූරිය / බීබීසී සිංහල