ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරි අභ්‍යාසලාභීන් අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලීමක්

ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරි අභ්‍යාසලාභීන් අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලීමක්

ජාතික පාසල් / පළාත් පාසල් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ලිපියක් යවා ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටපුරා පාසල්වල ආසන්න වශයෙන් ගුරු පුරප්පාඩු 60 000කට ආසන්න ප‍්‍රමාණයක් පවතින බව වාර්තා වේ. පාසල් අධ්‍යාපනය විධිමත්ව පවත්වාගෙන යාමත්, Covid-19 වසංගත තත්වය හමුවේ වසර එකහමාරකට ආසන්න කාලයක් පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවීමත් නිසා ඇතිවිය හැකි පාඩුවත් අවම කර ගැනීම සඳහා කඩිනමින් 60 000කට ආසන්න ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරිමට පියවර ගන්නා මෙන් අප සංගමය ඉල්ලා සිටිමු.

අදාළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමේ දී ජාතික පාසල්වල හා පළාත් පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, 2020 රැකියා විරහිත උපාධිධාරී රැකියාගත කිරීමේ වැඩ සටහන යටතේ පාසල්වෙත අනුයුක්ත කර ඇති උපාධිධාරීන් ද අදාළ වන පරිදි ගුරු පුරප්පාඩු පිරවීම සිදුකළයුතු බව පෙන්වා දෙන්නෙමු,

2. ජාතික පාසල් හා පළාත් පාසල්වල සංවර්ධන නිලධාරීන් ලෙස සේවයේ නියුතු විෂය කාලච්ඡේද ආවරණය කරන හා අදාළ සුදුසුකම් සහිත උපාධිධාරීන්,

3. 2020 රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගැනීම යටතේ 2020.09.02 හා 2021.02.02 දින යටතේ පළාත් පාසල්වලට අනුයුක්ත කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්,

4. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සඳහා උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී ගුරු සේවයේ අවශ්‍යතා සහිත සුදුසුකම් ලත් උපාධිධාරීන් වෙනත් කාර්යාලීය ලිපිගොනු කටයුතු සඳහා යොදවා ඇති අතර ඒ අතරින් සුදුසුකම් ලත් පිරිස් සඳහා අවස්ථා ලබා දීම,

5. පළාත් සභා මට්ටමින් ගුරු සේවය සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට මෙතෙක් පවත්වා ඇති ගුරු විභාගවලින් සමත්ව දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවයේ නියුතු තරඟ විභාග සමතුන්,

6. ඉහත කාණ්ඩවලට අයත් සුදුසුකම් සහිත හා කැමැත්ත පලකරන උපාධිධාරීන් කඩිනමින් ගුරු සේවයේ පුරප්පාඩු සඳහා අන්තර්ග්‍රහණය කිරීම.

මේ වන විට පළාත් සභා කීපයක ගුරු තරඟ විභාග කැඳවා ඇති අතර එමගින් සම්පූර්ණ කිරීමට අපේක්ෂිත ගුරු බඳවාගැනීම ඉතා සීමිත ප්‍රමාණයක් වන බැවින් එම බඳවාගැනීමට අගතියක් නොවන පරිදි ඉහත ඉල්ලීම ඉටු කිරීමට අවධානය යොමු කරවමු.

ඉහත ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා හා පළාත් බලධාරීන් සම`ග අප සංගමය අවස්ථා කීපයකදී සාකච්ඡා කර ඇත. ජාතික පාසල් හා පළාත් පාසල් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ජාතික හා පළාත් ආයතන ඒකාබද්ධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කඩිනමින් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.