උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ ගැටළු විසඳීමට කඩිනම් පියවර

උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ ගැටළු විසඳීමට කඩිනම් පියවර

සියලූම උපාධිධාරී අභ්‍යාසලාභීන් අපහසුතාවයන්ට ලක් කරන අවදිමත් පුහුණු වෙනුවට කඩිනමින් ස්ථීර කිරීමට පියවර ගැනීමත්, Covid-19 ට අදාළ කටයුතු වල නිරත උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා රු. 7500/- විශේෂ දීමනාව ලබා දීමටත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස සංවර්ධන නිලධාරි සේවා සංගමය විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩ සටහන 2020 යටතේ අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත්ව ඇති උපාධිධාරීන් පුහුණු කාලය තුළ මුහුණදෙන ගැටළු කීපයක් අප සංගමය වෙත වාර්තා කර ඇත.

Covid-19 වෛරස හා නව ප්‍රභේදයන් සමාජය පුරා ව්‍යාප්ත වෙමින් සමාජයේ හැම ස්ථරයකටම සැලකිය යුතු අවධානමක් එල්ල කර ඇති පසුබිමක උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණු උපාධිධාරීන් දැඩි දුෂ්කරතාවලට මුහුණදෙන බව අදාළ බලධාරීන් දැනුවත්ව ඇත්දැයි පැහැදිලි නැත.

උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා පිළිගත් නිසි පුහුණු වැඩසටහනක් නොවීම හේතුවෙන් ඇතැම් ආයතන ප්‍රධානීන් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ බරපතල වැඩ සහිතව සිරගත වූවන් සේ සිතමින් බව කිවයුතුව ඇත. මේ තත්වයට අප සංගමය එක හෙලාම විරුද්ධ බව ප්‍රකාශ කරමු.

උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව උපාධිධාරීන්ව පීඩාවට හා අපහසුතාවයට ලක් කරන කටයුත්තක් සේම රාජ්‍ය සේවයම එපා කරවන ස්ථීරවීමට පෙරම රාජ්‍ය සේවය හැරයන පසුබිමක් සකසන ක්‍රියාවලියක් බවට පත්ව ඇත. වසරක උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණු කාලසිමාව තුළ ද පිළිගත් නිශ්චිත ලේඛනගත පුහුණු වැඩසටහනක් අවශ්‍ය බවත්, එසේ නොමැති නම් සුදුසුකම් පරීක්ෂා කිරීමකින් අනතුරුව සෘජුවම ස්ථීර කිරීමේ තීරණයක් රජය ගත යුතු බවත් අපි අවධාරණය කරමු,

  1. ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ කලාප, කොට්ඨාශ හා පාසල් සඳහා අනුයුක්ත කර ඇති උපාධිධාරීන් මාස කීපයක් තිස්සේ මේ වන විටත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා එන්නත්කරණ වැඩ සටහනට සතියේ දින 07ම යෙදවීම. ඊට අතිරේකව #Covid රෝගීන් සහිත රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ද අනුයුක්ත කර සිටී,
  2. Covid-19 යටතේ විශේෂ රාජකාරීවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජූනි, ජූලි, අගෝස්තු මාස 03 සඳහා ලබා දෙන රු.7500/- විශේෂ දීමනාව ද මොවුන් සඳහා හිමි නොවන අතර ඒ සඳහා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද මේ දක්වා විසඳුමක් ලබා නොදීම කණගාටුදායක තත්වයකි,
  3. 02/2021 (iv) චක්‍රලේකය අනුව සතියකට අවම දින 03 ක් වන පරිදි ආයතන කාර්ය මන්ඩල කැඳවීම උක්ත චක්‍රලේකය මඟින් උපදෙස් ලබා දි තිබුණ ද ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අභ්‍යාසලාභීන් දින 06 ක් හෝ 07 ක් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කටයුතු වෙනුවෙන් යොදවන බව වාර්තා වේ,
  4. එම යොදවන උපාධිධාරීන්ට සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමක් හෝ වෙනත් කිසිඳු පහසුකම් නොලැබෙන අතර පවතින අවධානම හේතුවෙන් රැගෙනයන වතුරටික පවා යළි නිවෙස්වෙත පැමිණෙන තෙක් පානය කිරීමට නොහැකි බව ඇතමුන් පවසා ඇත,
  5. 02/2021(iv) චක්‍රලේකය නිකුත් කිරීම අදාළ පසුබිම වන්නේ #Covid-19 වෛරස පැතිරීම හා බෝවීම වළක්වමින් වඩා නිවැරදි පිරිස් කළමනාකරණයක් සහිතව රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා වුවත් එම චක්‍රලේකය උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා අදාළ නොවන බව පවසමින් ඇතැම් ආයතන ප්‍රධානීන් කටයුතු කරන බව වාර්තා වේ,
  6. ගර්භනී කාන්තා, කිරිදෙන මව්වරු ආදී කාණ්ඩ යටතට ගැනෙන උපාධිධාරී අභ්‍යාසලාභී කාන්තාවන් සඳහා අදාළ සහන ලබාදීම නිවැරදිව සිදුනොවන බවද ඇතැම් ආයතන සම්බන්ධයෙන් වාර්තා වේ,
  7. පාසල් වෙත අනුයුක්ත කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභී උපාධිධාරීන් වරින්වර විවිධ ස්ථානවෙත අනුයුක්ත කිරීමේ තත්වයක් මතුව ඇති අතර ඉතා බරපතල ව්‍යාකූලතාවයක් එමඟින් ඇති කරන බවද සඳහන් කරමු,
  8. Covid-19 වසංගත තත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවා අවම කිරීම, දිනෙන් දින බඩුමිල ඉහළයාම ඇතුළු කරුණු හේතුවෙන් උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා ලබාදෙන රු.20000/- මාසික දීමනාව ප්‍රමාණවත් නොවීම හා ප්‍රමාණවත් දීමනාවක් හිමි නොවීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති දුෂ්කරතාවයන්.

ඉහත ගැටළු පිළිබඳ කඩිනමින් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. 02/2021(iv) චක්‍රලේකය යටතේ වන සහන සියලූම උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා ද සමාන ලෙස ක්‍රියාත්මක කිරීමත්, උපාධිධාරී අභ්‍යාසලාභීන් අපහසුතාවයන්ට ලක් කරන අවදිමත් පුහුණු වෙනුවට කඩිනමින් ස්ථීර කිරීමට පියවර ගැනීමත්, Covid-19 ට අදාළ කටයුතු වල නිරත උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා රු. 7500/- විශේෂ දීමනාව ලබා දීමටත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා මෙන් ඉල්ලා සිටිමු.