නිදහස් වෙළඳ කලාප වලට විශේෂ සෞඛ්‍ය උපදෙස් මාළාවක් නිකුත් කරන ලෙස ඉල්ලීමක්

නිදහස් වෙළඳ කලාප වලට විශේෂ සෞඛ්‍ය උපදෙස් මාළාවක් නිකුත් කරන ලෙස ඉල්ලීමක්

නිදහස් වෙළඳ කලාප සහ ඉන් පිටත කර්මාන්ත ශාලාවල විශාල සේවක සේවිකාවන් පිරිස් ඉතා බරපතල ලෙස රෝගාතුරවී ඇති අතර අනෙක් සියලු දෙනා බලවත් දුෂ්කරතාවයනට මුහුණ දී සිටින අතර, නිෂ්පාදන කර්මාන්ත සඳහා විශේෂිත වූ වෛද්‍ය උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කිරීමේ ක්‍ෂණික අවශ්‍යතාවයක් ඇති අතර, ඒ සඳහා විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඒ සඳහා පහත දැක්වෙන යෝජනා ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉල්ලීමක් කර ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මේ වන විට රට පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිරී යන කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය නිසා නිදහස් වෙළඳ කලාප සහ ඉන් පිටත කර්මාන්ත ශාලාවල විශාල සේවක සේවිකාවන් පිරිස් ඉතා බරපතල ලෙස රෝගාතුරවී ඇති අතර අනෙක් සියලු දෙනා බලවත් දුෂ්කරතාවයනට මුහුණ දෙති.

බොහෝ කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට ප්‍රමාද වී හෝ එක එන්නත් මාත්‍රාවක් ලබා දී ඇතත් එන්නත් මාත්‍රා දෙකම මෙතෙක් ලබා දී ඇත්තේ සුළු ප්‍රතිශතයකට පමණි. මේ සම්බන්‍ධයෙන් ජාතික එන්නත් බෙදාහැරීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය සතියේ කොපමණ එන්නත් ප්‍රමාණයක් අවශ්‍ය දැයි අප සංගමයෙන් විමසා සිටි බැවින් ඒ පිළිබඳව අපි අදාල ආයතන වෙතින් පවතින තත්ත්වය විමසුවෙමු. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව එන්නත් 30,000 ක් පමණ ක්‍ෂණිකව අවශ්‍යව ඇතැයි දළ අනුමානයක් කළ හැකි විය. එබැවින් පහතින් අත්සන් කරන මා කොවිඩ් 19 වසංගත ජාතික කාර්ය සාධන බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට 2021 අගොස්තු මස 13 වන දින දුරකථනයෙන් ඒ බැව් දැන්වීය.

මේ තත්ත්වය යටතේ බොහෝ කර්මාන්ත ශාලාවල එන්නත් ලබා දී ඇති නිසා සේවක සේවිකාවන් පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක් නොකරති. බොහෝ කළමණාකාරීත්වයන් ප්‍රකාශ කරනුයේ 2021 අප්‍රෙල් මස ඔබ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් මාලාවට අනුව එවැනි පරීක්‍ෂණවලට ලක් කළ යුත්තේ සියයට 01 ක් පමණක් යැයි උපදෙස් දී ඇති බවය. එහෙත් එම උපදෙස කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වසංගත තත්ත්වය බරපතල ලෙස උග්‍ර කරවීමට පෙර දෙනු ලැබූ උපදෙසකි. එබැවින් එය තව දුරටත් අදාල නොවන බව අපගේ තේරුම් ගැනීම ය.

තවද, ඔබේ එම උපදෙස් මාලාවෙහි වායුසමීකරණය කර ඇති ආයතනවල වාතාශ්‍රය ලැබීම සඳහා වා කවුළු විවෘතව තබන ලෙස උපදෙස් දී ඇතත් එසේ නොකරෙති. කර්මාන්තශාලාවල වායුසමීකරණය ක්‍රියාත්මක කෙරෙන්නේ භාවිතයට ගන්නා රෙදිපිළි තොගවල ගුණාත්මකභාවය රැකගැනීම සඳහාය. එනිසා එම ගොඩනැගිලිවල වා කවුළු සවිකර ඇත්තේ ආලෝකය ලැබීමට පමණි. විවෘත කිරීමක් එනිසා සිදු නොවේ.

මෙයද නොඅඩුව සැළකිල්ලට ගත යුත්තකි. මේ වන විට සියළුම කර්මාන්තශාලා තම උපරිම නිෂ්පාදන ධාරිතාවය කරගෙන යාම සඳහා සියළුම සේවක සේවිකාවන් දෛනිකව සේවයට කැඳවනු ලැබේ. එබැවින් කෝවිඩ්-19 ආසාධනය වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව මීටර දෙකක පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු නමුත් මීටරයක හෝ පුද්ගල දුරස්ථභාවයක් රැකීමට බහුතරයක් ආයතනවලට නොහැක. එහෙත් කිසියම් අයකු ආසාදිතයකු වුවහොත් ආසන්නම ආශ්‍රිතයන් කිසිවකු හෝ හුදකලා නොකරන අතර සිරිත් පරිදි ඔවුන් එම සේවා ස්ථානවලම සේවයේ යොදවනු ලැබේ. ඉවත් කරනු ලබන්නේ ආසාධිතයින් පමණි. මේ පිළිබඳව එක් ඇඟළුම් ආයතනයක අප වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රශ්න කළ විට කළමණාකාරීත්වය පවසා ඇත්තේ

හදිසි ඇණවුම් ඇති බැවින් එසේ කළ නොහැකි බවය. මේ වන විට එම ආයතනයේ සේවක සේවිකාවන් හතළිස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ආසාධිතයින් වී ඇත. එසේ ආසාධිතයින් වූ සේවකයින්ගේ නිෂ්පාදනය ද ඉතිරි සේවකයින් ලබා දිය යුතු යැයි එම කළමණාකාරීත්වය දන්වා ඇත.

නිදහස් වෙළඳ කලාපවල සේවය කරන බහුතරයක් සේවකයින් නවාතැන් ගෙන සිටින්නේ පුද්ගලික නිවෙස්වල හෝ ගොඩනැගිළිවල නේවාසිකව සිටින අය වන බැවින් මෙම කර්මාන්තශාලාවල ආසාදිත වන සේවක සේවිකාවන්ව රෝහල්වලින් ප්‍රතිකාර ලබා දීමට එම ආයතන කටයුතු නොකරන තත්ත්වයක් යටතේ එම ආසාදිතයින්ට නැවතීමට සිදුව ඇත්තේ අනෙකුත් කර්මාන්තශාලාවල සේවකයින් නැවතී සිටින මිශ්‍ර නේවාසිකාගාරවල වන බැවින් ඔවුන් හදුකලා නොකිරීමෙන් ආසාදනය වීම් වෙනත් කර්මාන්ත ශාලා වලටද පැතිරීම වළකනු නොහැක. ඒ අනුව මෙම නේවාසිකාගාර ඩෙල්ඩා වයිරසය පැතිරෙන ස්ථාන බවට පත්ව ඇත.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 40,000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර එම සේවකයින් ආසාධිතයින් වූ විට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත්තේ ඊට ආසන්නයේම පිහිටි මීගමුව රජයේ රෝහලෙනි. මෙම රජයේ රෝහලේ කොවිඩ් වසංගත වාට්ටු උපරිමයට පිරී ඇති තත්ත්වය යටතේ එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වෙළඳ කලාප සේවකයින්ට නොහැකි වී ඇත. නිදසුනක් ලෙස කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අප සංගමයේ ශාඛා සාමාජිකාවක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුවද දෙවන වරටත් ආසාධිත වී ඇති අතර, ඇයට මීගමුව රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඉඩක් නැත. එම රෝහලෙහි වෛද්‍යවරුන් පවසා ඇත්තේ එම වාට්ටුවෙහි කැලි කසළ අතුගා දමන ස්ථානයෙහි බිම අතු ගා දමා වැතිර සිටින ලෙසය. කිසිදු වාතාශ්‍රායක් නොමැති සහ ඉතාමත් අපිරිසිදු වටපිටාවක් යටතේ එසේ නතර වන්නට සිදුව ඇත.

නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටුවා ඇතත් බොහෝ ආයතන නිරෝධායනය සඳහා තම සේවකයින්ව එම මධ්‍යස්ථානයට යොමු නොකරති. එයට හේතු වශයෙන් දැන ගන්නට ඇත්තේ එම ආයතන විසින් ඒ සඳහා කිසියම් මුදලක් ගෙවිය යුතු වීමය. කටුනායක ආසන්නයේ සීදූව බ්‍රැන්ඩික්ස් මධ්‍යස්ථානය ද මේ වන විට උපරිමයට පිරී ඇති බැවින් අලුතින් ආසාදනය වන සේවකයින්ට එහි නැවතීමට නොහැකි වී ඇත.

නිදහස් වෙළඳ කලාප සහ අවට අනෙකුත් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට හුදකලා මධ්‍යස්ථාන ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන කටයුතු ද අවශ්‍ය ප්‍රමාණයෙන් පී.සී.ආර් පරීක්ෂණ කිරීමේ වගකීම ද එම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතේ සිදු විය යුතුව ඇතැයි අපි යෝජනා කරමු.

මේ වන විට ඉතා බරපතල ලෙස කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යන බව සෞඛ්‍ය බලධාරීන්ද නිරන්තරව ප්‍රකාශ කරයි. මෙම අවදානම් තත්ත්වය සැලකිළ්ලට ගනිමින් නිෂ්පාදන කර්මාන්ත සඳහා විශේෂිත වූ වෛද්‍ය උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කිරීමේ ක්‍ෂණික අවශ්‍යතාවයක් ඇත. එනිසා එවැනි විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඒ සඳහා පහත දැක්වෙන යෝජනා ඇතුළත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.

  1. නිදහස් වෙළඳ කලාපවල සහ ඇගළුම් කර්මාන්තශාලාවල ආසාධිතයින් බවට පත්වන සේවක සේවිකාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම නිදහස් වෙළඳ කලාප සහ ඇඟළුම් කර්මාන්තශාලා ආශ්‍රිතව වෛද්‍ය මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම
  2. තම ආයතනවල සේවකයින් නිරෝධායනය කිරීම සඳහා එම ආයතන විසින් පවත්වාගෙන යනු ලබන හුදකලා මධ්‍යස්ථාන පිහිටුවීම
  3. කර්මාන්තශාලාවල අවම සියයට 40 ක් සේවක සේවිකාවන් නිතිපතා පරීක්‍ෂණවලට ලක් කිරීමට නියම කිරීම
  4. කර්මාන්ත ශාලාවල මීටර් දෙකක පුද්ගලික දුරස්ථභාවය පවත්වාගෙන යාමට හැකි වන සේවක සංඛ්‍යාවන් පමණක් වරකට සේවයට කැඳවන ලෙසට උපදෙස් දීම සහ සේවයට නොකැඳවන සේවකයින් හට එම කාලය සඳහා වැටුප් සහිත නිවාඩු ලබාදීම
  5. කර්මාන්තශාලා දෛනිකව විශබීජහරණය කිරීම අනිවාර්ය කිරීම
  6. කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍රෛපාර්ශවීය කාර්ය සාධන බලකාය නියම කළ පරිදි සේව්‍ය සේවක දෙපාර්ශවයෙන් සැදුම්ලත් සෞඛ්‍ය කමිටු පිහිටුවීමටත්, වෘත්තීය සමිති ඇති සේවා ස්ථාන වල වෘත්තීය සමිතිවල නියෝජිතයින් එම සෞඛ්‍ය කමිටුවල නියෝජිතයින් බවට පත් කිරීමත් මෙසේ පත් කරනු ලබන සෞඛ්‍ය කමිටුවල නියෝජිතයින්ගේ නම් සහ තනතුරු ඇතුළත් වාර්ථාවක් ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබාදීමත්
  7. ආසාධිතයින් බවට පත්වන සේවකයින් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින සේවකයින් සම්බන්‍ධයෙන් ඔවුන්ගේ නම්, සේවා ස්ථානයේ නම්, ලිපිනයන්, ඔවුන් ප්‍රතිකාර ගන්නා හෝ නිරෝධානයන පිහිටි ස්ථානය පිළිබඳ විස්තර ඇතුළත් දත්ත වාර්ථාවක් නිදහස් වෙළඳ කලාප කාර්යාවල පවත්වාගෙන යාම

ඉහත දැක්වෙන කරුණු පිළිබඳව සහ යෝජනා පිළිබඳව තවදුරටත් පැහැදිළි කිරීම සඳහා ඔබ සමග සාකච්ඡා කිරීමට අප සංගමයේ නියෝජිතයින් හට අවස්ථාවක් ලබා දෙන මෙන් ද මෙයින් කාරුණිකව ඉල්ලමු.