ශ්‍රී ලංකාවේ කොවිඩ්: රජය "කොරෝනා මර්දනය පසෙකලා විරුද්ධවාදීන් මර්දනයේ" යෙදෙතැ යි චෝදනා

ශ්‍රී ලංකාවේ කොවිඩ්: රජය "කොරෝනා මර්දනය පසෙකලා විරුද්ධවාදීන් මර්දනයේ" යෙදෙතැ යි චෝදනා

ප්‍රකාශනයේ නිදහසට වැට බඳිමින්, 'කොරෝනා මර්දනය පසෙකලා විරුද්ධවාදීන් මර්දනයක' යෙදෙන බවට මාධ්‍යවේදීහු සහ සිවිල් ක්‍රියාකාරීහු ආණ්ඩුවට චෝදනා කරති.

මෙයට හේතු වූ ආසන්නතම සිදුවීම වූයේ අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් නිමිතිකර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඔහු සොයා රෝහලට පැමිණීම ය.

එසේම, මාධ්‍යවේදිනී තුෂාරා වන්නිආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ උපුටා පළ කළ ලිපියක් හේතුවෙන් ඇගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සෝදිසි කිරීම ද, මාධ්‍යවේදී විමුක්ති දුෂාන්ත ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩවියේ පළවූ නිවේදනයක නිරවද්‍යතාව විමසමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබීම හේතුවෙන් හමුදා නිලධාරියෙකු දුරකථන ඇමතුමක් හරහා ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ සිද්ධිය ද ප්‍රබල අවධානයට ලක්විය.

මේ සිදුවීම් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් කළ විමසීමේ දී ඔහු කියා සිටියේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් යමක් පැවසීමට පෙර ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවකි.

"මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ"

වෛද්‍ය නජිත් ඉන්දික පසුගිය අගෝස්තු 13 වන දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, පවතින වසංගත තත්ත්වය නිසා "රැකියාව සම්බන්ධ මානසික ආතතිය" කුමනාකාරයේ දෙයක්දැ යි තමාට දැන් දැනෙන බව ප්‍රකාශකොට තිබුණි.

"දවස් දෙකකට එකක් වගේ පහුගිය කාලෙ සිද්ධවුණු මරණ සංඛ්‍යාව, දවසකට හතරක් පහක් මට්ටමට සතියකින් වෙනස් වුණා. තව සති දෙකක් මේ සීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩිවුනොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්වෙට මේක පත්වෙනවා. ඉතින් මේ ඔක්කොම දැකබලාගෙන ඊයෙ හවස ගෙදර ආවම තමයි දැක්කේ කෙහෙළිය රඹුක්වැල්ල කියලා තිබ්බ කතාව. "මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න" කියලා."

වෛද්‍ය නජිත් ඉන්දික සිය සටහන අවසන්කොට තිබුණේ, ෆේස්බුක් එකෙන් 'බ්ලොක් නොවෙන භාෂාවකින්' තවදුරටත් ලිවීමට නොහැකි හෙයින් තමා 'මෙම ලියමන මෙතැනින් නවතනබව' සඳහන් කරමිනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා බීබීසී සිංහල සේවය වෛද්‍ය නජිත් ඉන්දික සම්බන්ධකර ගත් නමුත්, වෛද්‍ය වෘත්තීය සමිතියක නිලයක් නොදරන්නේ නම් ජනමාධ්‍යයට අදහස් දැක්වීමේ අවසරයක් වෛද්‍යවරුන්ට නොමැති බව අප හා පැවසූ වෛද්‍යවරයා, ඒ සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් ද පසුගිය දා නිකුත්වූ බව කියා සිටියේ ය.

"දොස්තරට ආතතිය ද?"

එම සටහනෙන් දෙදිනකට පසු, අගෝස්තු 15 වන දා තවත් සටහනක් තැබූ වෛද්‍ය නජිත් ඉන්දික, තමා සොයා 'CID නිලධාරීන්' රෝහලට පැමිණිබව ප්‍රකාශ කළේ ය.

එය සිදුවූ ආකාරය වෛද්‍යවරයා මෙසේ විස්තර කරයි:

"ඊයෙ මම පුරුදු විදියටම වාට්ටුවෙ වැඩකරමින් හිටියා. වැල නොකැඩි ලෙඩ්ඩු... ඔය අතරෙ වාට්ටුවට කෝල් එකක් ආව. කොහොමත් මේ වාට්ටුවෙ දුරකථනෙට හැමතිස්සෙම කෝල්. කොරෝනා ලෙඩ්ඩුන්ව, අනික් ලෙඩ්ඩු වගේ ඇවිත් බලන්න බැරි නිසා හැමෝම දිගට හරහට වාට්ටුවට ඇමතුම් ගන්නවා.

මේ පාර මිස් කෙනෙක් ආන්සර් කරල, "ඩොක්ට, කෝල් එකක්" කිව්ව. ගිහින් බැලුවම අපේ රෝහලේම "එක්ස්චේන්ජ්" එකෙන්.

"සර්, මේ CID යෙන් කියල දෙන්නෙක් ඇවිත් සර්ව අහනවා. මොකද්ද එයාලට කියන්න ඕනෙ?

"එතකොටම වැඩේ තේරුණ නිසා මට හිතුණා මෙයාලා මෙච්චර මහන්සි වෙන හේතුව හොයලා බලන්න,"යි ඔහුගේ සටහනේ දැක්විණි.

වෛද්‍යවරයාගේ ප්‍රකාශය පරිදි, සෙනසුරාදා දිනයේ (පසුගිය 14 වන දා) රෝහලේ සේවය කරමින් සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි පවසන නිලධාරීන් ඔහු සොයා පැමිණ ඇත. මෙයට හේතුව වූයේ රෝහලේ තතු සඳහන් කළ පෝස්ටුව පෙරදින ෆේස්බුක්හි පළවීමත්, බොහෝ දෙනා එම පොස්ටුව බෙදාගැනීමත් බව ඔහු කියයි.

"DIG මහත්තයා කිව්වේ, මේක ලිව්ව දොස්තරගේ මානසික තත්ත්වය පොඩ්ඩක් බලන්න කියලා, ඒ ඩොක්ට ආතතියෙන් ද ඉන්නේ කියලා බලන්න කියලා" යි පැමිණ සිටි CID නිලධාරීන් පැවසුවේයැ යි වෛද්‍යවරයා සඳහන්කොට තිබුණි.

"ෆේස්බුක් එකේ ලිය ලියා ඉන්නේ නැතුව ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න"

කෙසේ නමුත් මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ වෛද්‍ය නජිත් ඉන්දික "මර ළතෝනි තියන" බව ය.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන
"අවිස්සාවේල්ල රෝහලේ නජිත් ඉන්දික කියලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ ඉස්සරලා හිටිය කැඳවුම්කරු මර ළතෝනි තියනවා, එතන. එයා ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නෙපැයි ෆේස්බුක් එකට ලිය ලිය ඉන්නේ. ෆේස්බුකේ එකෙන් බෑ කොවිඩ් ලෙඩ්ඩු හොඳ කරන්න."

"අද මේක රැල්ලක් ඇති කරලා. විවිධ ව්‍යාජ නම්වලින්, ෆේස්බුක් එකෙන් විවිධ මූණු දාගෙන එළියට ඇවිල්ලා, "මම මෙහෙම බලන් හිටියා", "අරම මළා", "මෙහෙම හුස්ම ගන්න අමාරුවුණා", විවිධ දේවල් කියමින්, මේ අද, රට විශාලා මහනුවරක් බවට පත් කරන්නේ හදන්නේ කවුරුත් නෙමෙයි, මේගොල්ලම තමයි හදන්නේ," රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයන්ට වෛද්‍ය නජිත් ඉන්දික ප්‍රතිචාර දක්වා තිබුණේ මේ ආකාරයෙනි:

වෛද්‍ය නජිත් ඉන්දික ගේ ෆේස්බුක් පිටුවෙන්

වෛද්‍ය නජිත් ඉන්දික ගේ ෆේස්බුක් පිටුවෙන්
CID නැවතත් රෝහලට?
මේ අතරේ වෛද්‍ය නජිත් ඉන්දික සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවතත් රෝහල වෙත ගොස් ඇතැ යි වාර්තා වෙයි. අගෝස්තු 19 වෙනි දින සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් මගින් වෛද්‍යවරයා මේ බව ප්‍රකාශකොට තිබුණි.

අගෝස්තු 17 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු රෝහලට පැමිණ තමා හමුවීමට අවශ්‍යයැ යි දැනුම් දී ඇති නමුත්, තමා එවේලේ රෝහලේ නොසිටි බව වෛද්‍ය නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.

"මම CID එකෙන්. මීට කලින් තමන් හම්බෙන්න CID එකෙන් ආව කියල ඩොක්ටර් කෙනෙක් ෆේස්බුක් එකේ ලියල තියෙනවා. නමුත් එහෙම අපි දැනුවත්ව කවුරුත් ඇවිත් නැහැ. ඒ නිසා අන්න ඒ ප්‍රකාශය ගැන හොයල බලන්න තමයි ආවෙ,"යි එම නිලධාරියා රෝහලේ නිලධාරියෙකු සමග පවසා ඇතැ යි ඔහු කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන මෙම නිලධාරියා අගෝස්තු 18 වන දා රෝහලට පැමිණ තමා මුණගැසුණු බවත්, එසේ පැමිණීමේ අරමුණ වූයේ, සිය දෙපාර්තමේන්තුවෙන් කිසිවෙකුත් වෛද්‍ය නජිත් ඉන්දික හමුවීමට නොපැමිණි නමුත් ඒ ආකාරයෙන් ඇතැමුන් තමන් CID නිලධාරීන්යැ යි හඳුන්වාගත් සිදුවීම් කීපයක් පසුගිය සමයේ වාර්තා වී ඇති හෙයින්, මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම සඳහා වෛද්‍යවරයා මුහුණ පෑ සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් සටහන්කර ගැනීම බව මෙම පොලිස් පරීක්ෂකවරයා සඳහන්කර ඇත.

"එයට මගේ පිළිතුර වුණේ, එදා පැමිණියේ තමන් විසින්ම CID කියමින් රෝහලේ තැන් කීපයකදීම තමන්ව හඳුන්වා දුන් ආරක්ෂක නිළධාරීන් බවත්, මට අමතරව බොහෝ රෝහල් සේවකයන්ට ඔවුන් කතා කොට තිබූ බවත්, ඔවුන් "බුද්ධි අංශ නිළධාරීන්" බවට තහවුරු කරගත හැකි බවත්, ඔවුන් අයත් වන්නේ CID ද රාජ්‍ය බුද්ධි සේවයටද, පොලිසියටද, වෙනත් "ඉන්ට්" එකකටද යන්න මට අදාළ කාරණයක් නොවන බවත්‍ ය. එහිදී ඒ කරුණු ඔප්පු කිරීමට අදාළ තොරතුරු වලින් කිහිපයක් මගේ කට උත්තරය හරහා ලබා දුන්නා,"යි වෛද්‍ය නජිත් ඉන්දික සටහන් කරයි.

එදා පැමිණි 'පහළ නිලධාරීන් දෙදෙනා' සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාදැ යි ද තමාගෙන් විමසූබව වෛද්‍යවරයා පවසයි.

මාධ්‍යවේදිනී තුෂාරාගේ නිවෙසට CIDයෙන් පැමිණෙයි

අගෝස්තු 15 වන දා අලුයම 3ට පමණ මාධ්‍යවේදිනී තුෂාරා වන්නිආරච්චිගේ නිවෙසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇගේ මුළු නිවෙසම පරික්ෂාකර බලා, ඈ සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ පෙන් ඩ්‍රයිව් එකක් සිය භාරයට ගෙන ඇත.

මාධ්‍යවේදිනී තුෂාරා වන්නිආරච්චිගේ ෆේස්බුක් සටහන

| මාධ්‍යවේදිනී තුෂාරා වන්නිආරච්චිගේ ෆේස්බුක් සටහන
නිවෙස පරික්ෂා කිරීමට ඔවුන් සතුව වරෙන්තුවක් තිබේදැ යි තමා ප්‍රශ්න කළ බවත්, 'හදිසි නීතිය යටතේ වරෙන්තුවක් අවශ්‍ය නැතැ'යි ඔවුන් පිළිතුරු දුන් බවත් මාධ්‍යවේදිනිය බීබීසීය සමග පැවසුවා ය. 'දැන් හදිසි නිතිය වලංගු නැතැ'යි තමා පැවසූ විට, "හදිසි නීතිය යටතේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති 'ස්පෙෂල් ඕඩර් එකක්'" මඟින් එසේ නිවෙස් පරික්ෂා කළ හැකියැ යි ඔවුන් කියූ බව ඇය ප්‍රකාශ කළා ය.

මේ සෝදිසියට හේතු වූයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළකෙරුණු ලිපියක් තමා සිය ෆේස්බුක් ගිණුමේ උපුටා දැක්වීම බව තුෂාරා වන්නිආරච්චි කියයි.

තමා මේ සම්බන්ධයෙන් 17 වන දා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදුව, පැය 9ක් තිස්සේ ප්‍රශ්න කෙරුණු බව ඇය අප හා පැවසුවා ය.

"යුනිෆෝම් එකට ගරුකරන්න"

මේ ආකාරයෙන් ම ෆේස්බුක්හි පලකෙරුණු පෝස්ටුවක් නිසා හමුදා නිලධාරියෙකුගෙන් ඇමතුමක් ලද මාධ්‍යවේදී විමුක්ති දුෂාන්ත ද තමා මුහුණදුන් සිදුවීම අප හා විස්තර කළේ ය.

ඔහුට එම ඇමතුම ලැබී තිබුණේ, ශ්‍රී ලංකා යුද හමුදා වෙබ් අඩවියේ පළකර තිබූ නිවේදනයක සඳහන් කරුණුවල නිරවද්‍යතාව ප්‍රශ්න කරමින් සිය ෆේස්බුක් ගිණුමේ පෝස්ටුවක් පළ කිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් නිලයක් දරන්නෙකු හා උපදේශකයෙකු වශයෙන් තමාව හඳුන්වා දී ඇති අදාළ තැනැත්තා, යමෙකු එවැනි වැරදි කරුණක් දුටුවිට යුද හමුදාවට දැනුම් දිය යුතුබව ප්‍රකාශකර ඇත.

මාධ්‍යවේදී විමුක්ති වැඩිදුරටත් පවසා සිටියේ, තමා උක්ත පෝස්ටුව පළ කළේ වෙන යම් පාර්ශවයක අනුදැනුම හෝ බලපෑම මතදැ යි ද අදාළ තැනැත්තා තමාගෙන් විමසූ බව ය.

මාධ්‍යවේදී විමුක්ති දුෂාන්ත

"ඊළඟට ආපහු මෙයා කිව්වා මට, ආමි එකේ යුනිෆෝම් එකට අපි ගරු කරන්නෝනේ... ඉතින් යුනිෆෝම් එකක් අඳින කෙනෙක්ගෙන් මේ වගේ පොඩි වැරද්දක් වුණාම එහෙම මෙහෙම කරන එක වැරදියි. ඊට පස්සේ කිව්වා එයා වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම්වලට එනවා, හැබැයි එයා එයාගේ වැක්සින් එක ගහන්නේ නැතුව ඒකත් පරිත්‍යාග කරලා එයා ඒවා කරන්නේ, ඒ වගේ ගොඩක් අය ඉන්නවා වගේ දේවල්..."

"එයා දිගින් දිගටම කිව්ව එකක් තමයි, අපි ආමි එකේ යුනිෆෝම් එකට ගරු කරලා, එයාලාගෙන් වැරැද්දක් වුණත් ඒක ඉවසන්න ඕනේ වගේ අදහසක්. එයාලව අපට විවේචනය කරන්න බැරි? එහෙම අදහසක්. ඒක තමයි එයා දිගටම මතු කරන්න හැදුවේ."

"දන්නෑ - හැබැයි හොයලා බලන්නම්"

මේ සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් අප විමසූ විට තමාට ඒ ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නොලැබුණු බව අමාත්‍යවරයා පැවසුවේ ය.

"ඊයෙත් අධිකරණය පැහැදිලි තීන්දුවක් දුන්නා භාෂණයේ නිදහස සම්බන්ධයෙන්... ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරපු නිදහසට අදාළ කාරණාවලට එරෙහිව යනවා නම් ඒක අපි කරන වැරැද්දක්, කොහේ හරි, කොතැනක හෝ... ඒ නිසා මට අනිත් පාර්ශවය කුමක් ද කියලා කියන්නේ කියන කාරණය අරගෙන තමයි මේ පිළිබඳව අවසන් පිළිතුරක් ලබාදිය හැක්කේ".

අමාත්‍යවරයා සඳහන් කරන මේ 'නඩු තීන්දුව', අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද ආනන්ද පාලිත ඊයේ (අගෝ. 22) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නිකුත් කෙරුණකි.

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ උප සභාපති ආනන්ද පාලිත අගෝස්තු 21 දා අත්අඩංගුවට ගනු ලැබුණේ, රටේ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ප්‍රකාශයක් කිරීම හේතුවෙනි.

ඔහුට ඇප ලබා නොදෙන්නැ යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිය ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට භාෂණයේ නිදහස හිමිකර දී ඇති හෙයින් සත්‍ය තොරතුරු මත පදනම් වූ අදහස් ප්‍රකාශය බන්ධනාගාරගත කිරීමට හේතුවක් නොවන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ආනන්ද පාලිත ඇප මත මුදාහරින්නට කටයුතු කළා ය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමතිවරයා, තමා 'දුෂ්කර කාලවකවානුවක පෑන අතටගත් පත්තරකාරයෙක්යැ'යි ද, මෙම සිදුවීම් පිළිබඳව "පුද්ගලිකවම සොයා බලනවා" යැයි ද පවසා සිටියේ ය.

අමන්දා අබේසූරිය - බීබීසී / සිංහල සංදේශය