“ආයෝජන කලාපවල ගැටළු උග්‍රයි, වහාම මැදිහත් වන්න“ - කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

“ආයෝජන කලාපවල ගැටළු උග්‍රයි, වහාම මැදිහත් වන්න“ - කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

ආයෝජන ප‍්‍රවර්ධන කලාපයන්හි සේවයේ නියුක්ත කර සිටින සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ වෘත්තීය හිමිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කරනු ලබන ඉල්ලා සිටිමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන හයක නියෝජිතයින් කම්කරු අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපිය සංස්කරණයෙන් තොරව සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.

2021 අගෝස්තු මස 24 වන දින

නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා

ගරු අමාත්‍ය,

කම්කරු අමාත්‍යාංශය,

මෙහෙවර පියස ගොඩනැගිල්ල,

කොළඹ 05.

ගරු අමාත්‍යතුමනි,

ආයෝජන ප‍්‍රවර්ධන කලාපයන්හි සේවයේ නියුක්ත කර සිටින සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ වෘත්තීය හිමිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීම.

කොවිඩ් 19 වසංගතයේ ඩෙල්ටා ප‍්‍රහේදය රටපුරා සිග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් ඇති වු අනාරක්ෂිත තත්ත්වයන් සහ ජනතා නොසන්සුන්තා මත රට අගුළු දමන ලෙසට වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු ඉල්ලිම් සැළකිල්ලට ගත් ආණ්ඩුව 2021 අගෝස්තු මස 21 වන දින සිට දින 10 ක කාලයක් සඳහා රට වසා දමා තිබේ.

ඒ අනුව යමින් අත්‍යාවශ්‍ය සේවා හැර රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ සේවා සපයන ආයතන ද තාවකාලිකව වසා දමා තිබේ. තත්ත්වය එසේ වුවද, රටට විනිමය උපයන ප‍්‍රධාන මුලාශ‍්‍රය වන ඇඟළුම් නිෂ්පාදන ඇතුළු වෙනත් සුවිශේෂි කර්මාන්ත රැසක් ස්ථාපිත ආයෝජන ප‍්‍රවර්ධන කලාපයන්හි නිෂ්පාදන කි‍්‍රයාවලින් එකී ආකාරයෙන් වසා දැමිම පහසු නොවන බව අපි දනිමු.

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 අගෝස්තු මස 20 වන දින ජාතිය අමතමින් සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශයේදී ඇඟළුම් නිෂ්පාදන කර්මාන්තය මගින් රට් ආර්ථිකයට ලබා දෙන සෘජු සහ සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කිරීම මගින් එම ක්ෂේත‍්‍රයේ ඇති ආර්ථික වැදගත්කම වඩාත් පැහිදිලි වේ.

කරුණු එසේ වුව ද, රටේ ආර්ථික කි‍්‍රයාවලියට ඉහළම දායකත්වය ලබාදෙන, රටපුරා පිහිටි ආයෝජන ප‍්‍රවර්ධන කලාපයන් හි ස්ථාපිත කර්මාන්තශාලාවන්හි සේවයේ නියුක්ත කර ඇති සේවක මහත්ම මහත්මීහු කොවිඞ් වසංගතය පැතිරි යාම ආරම්භ වු මුල් අවස්ථාවේ සිටම බරපතල ලෙස රෝග පීඩාවන්ට සහ අර්බුදයන්ට මුහුණු දුන්හ. කාන්තා ශ‍්‍රමිකයින් අති බහුතරයක් සේවයේ නියුක්ත මෙම පරිශ‍්‍ර ඉතා සංවේදි හා විශේෂ තත්ත්වයන් සහිත කලාප බැව් ඔබ වෙත පැහැදිලි කර දීමේ අවශ්‍යතාවක් නොවේ. මෙම කාලසීමාව තුල ඔවුහු රෝග වාහකයන් ලෙස බාහිර සමාජය ඉදිරියේ බරපතල අපහසුතාවන්ට පත්වීම ද කණගාටුවෙන් පෙන්වා දෙමු.

රට වසා දැමිම සඳහා ඉදිරිපත් වූ ඉල්ලිමට විරෝධය දක්වමින් සහ ජනාධිපතිතුමන්ගේ ප‍්‍රකාශයට ස්තුති කරමින් ඇඟළුම් කර්මාන්තශාලා හිමියන් නිකුත් කරන ලද ප‍්‍රකාශය මගින් සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බැව් කියා සිටිය ද, එම සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව බරපතල නොසතුටු දායක තත්ත්වයක පවතින බැව් ඔබගේ කාරුණික අවධානයට යොමු කරවනු කැමැත්තෙමු. තවද මෙරට නීතිය මගින් ස්ථාපිත සේවකයින්ගේ වෘත්තීය හිමිකම් ද බරපතල කප්පාදුවකට ලක්කර ඇති බැවි වැඩි දුරටත් දන්වා සිටිමු.

ඇඟළුම් හා අනෙකුත් කර්මාන්තශාලාවන්හි සේවයේ නියුක්ත සේවක සේවිකාවන් මේ වන විටි මුහුණ පා සිටින තත්ත්වයන් ඔබගේ විශේෂ අවධානය සහ කඩිනම් මැදිහත්විම පිණිස පහතින් සඳහන් කරන්නෙමු.

01.  නිර්දේශිත හා විධිමත් සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද කි‍්‍රයාත්මක නොකිරීම

1.1 විෂබීජහරණය නොකිරීම

  • කර්මාන්තශාලාව, වැසිකිළි/කැසිකිළි, ආපනශාලා, ප‍්‍රථමාධාර කාමර හා විවේකාගාර
  • සේවක මහත්ම මහත්මීන්ගේ නේවාසිකාගාර (නිරෝධායනයෙන් පසු)
  • අත් පිරිසිඳු කාරක/සබන් ලබා නොදීම

1.2 පළමු පෙළ ආශි‍්‍රතයින් අන් සේවකයින් සමග සේවයේ යෙදවීම

1.3 රෝගලක්ෂණ පෙන්වන සේවකයින් දිර්ඝ වේලාවක් ප‍්‍රථමාධාර කාමර/විවේකාගාරයන්හි රඳවා තිබීම

1.4 ආසාධිතයින් ඔවුනගේ නේවාසිකාගාරයන්හි ම රැඳවීම

  • එක් නේවාසිකාගාරයක කර්මාන්තශාලා කිහිපියක සේවක/සේවිකාවන් නවාතැන් ගෙන සිටීම
  • ඇතැම් සේවක මහත්මීන් තම කුඩා දරුවන් සමග එකී නේවාසිකාගාරයන්හි නැවතී සිටීම
  • සියළු නේවාසිකයින් එක් වැසිකිළියක්, ජල කරාමය හෝ ලිඳ භාවිතා කිරීම

1.5. ස්වාමි පුරුෂයා/භාර්යාව ආසාධිත වී සිටියදී අනෙක් පාර්ශවය සේවයට කැඳවීම

1.6 සම්පූර්ණ සේවක ප‍්‍රමාණය සේවයට කැඳවීම හේතුවෙන් පුද්ගල දුරස්ථභාවය කි‍්‍රයාත්මක නොවීම

1.7 වායුසමීකරණ කි‍්‍රයාත්මක කිරීම නිසා ජනෙල්/වා කවුළු විවෘත නොකිරීම

02. ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂාව නිසි ලෙස සිදු නොකිරීම

2.1 තෝරාගත් ඉතා සිමිත සේවක සංඛාවකට පමණක් අදාල පරික්ෂණ සිදු කිරීම

2.2 පළමු පෙළ ආශි‍්‍රතයින් අදාල පරික්ෂණ සඳහා යෙමු නොකිරීම

2.3 එන්නත් ලබාදි ඇති පිරිස් එකී පරීක්ෂණයන්හිදි නොසළකා හැරීම

03. එන්නත් ලබාගැනීම සඳහා ඇති අවස්ථාව ලබා නොදීම/මඟහැරී යාම

3.1 එන්නත් ලබාගැනිම සඳහා රාජකාරි නිවාඩු ලබා නොදීම

3.2 කර්මාන්තශාලාව තුළ හෝ ආශි‍්‍රතව එන්නත්කරණ වැඩසටහන් කි‍්‍රයාත්මක නොවීම

3.3 එන්නත් ලබාදිම සිදු කරන ස්ථාන පිළිබඳ විස්තර නොලැබීම

04. මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයන්හි සහාය ප‍්‍රමාණවත් නොවීම

4.1 මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවීම

4.2 නිරෝධායනයට යොමුකර සිටින සේවකයින් සම්බන්ධයෙන් පරික්ෂාවක් සිදු නොවීම

05. රජයේ රෝහල් වෙතින් ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකිවීම

5.1 රජයේ රෝහල් ධාරිතාව ඉක්මවා තිබීම

5.2 වෙළඳ කලාප සේවකයින් වීමෙන් ම නොසළකා හැරීම

06. වෘත්තීය හිමිකම් අහිමිකිරීම / කප්පාදු කිරීම

6.1 සම්පූර්ණ සේවක ප‍්‍රමාණය සේවයට කැඳවා තිබුණ ද මූලික වැටුපෙන් භාගය හෝ රු. 14500/ පමණක් ගෙවීම

6.2 අතිකාල නොගෙවීම

6.3 නිෂ්පාදන ඉලක්ක අසීමිත ලෙස ඉහළ දැමීම

6.4 අඩු සේවක සංඛ්‍යාවක් මඟින් සම්පුර්ණ සේවක සංඛ්‍යාව විසින් සපුරන නිෂ්පාදන ඉලක්ක ලබා ගැනීම

6.5 ගර්භණි සේවක මහත්මීන්ගේ සේවය අවසන් කිරීම

6.6 සේවයට නොකැඳවන ගර්භණී සේවක මහත්මීන්ට වැටුපෙන් කොටසක් හෝ නොගෙවීම

6.7 ප‍්‍රසාද දීමනාව ගෙවීමට හැකියාව තිබියදී එම දීමනාව නොගෙවීම

07. ආසාධිත සේවකයින් ඔවුනගේ නේවාසිකාගාර වෙත යැවීමෙන් පසු කිසිදු පසු විපරමක් නොකිරීම සහ මුදල් ගෙවීමට සිදුවීම මත කලාප ඇතුලත පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත සේවකයින් යොමු නොකිරීම

ඉහත කී තත්ත්වයන් හේතුවෙන් ආයෝජන ප‍්‍රවර්ධන කලාප ඇතුළත සේවයේ නියුක්ත කර ඇති සේවක සේවිකාවන් කොවිඞ් වසංගතයට ගොදුරුවීමේ බලවත් තර්ජනයකට, ශාරිරික හා මානසික පීඩාවට සහ අසාධාරණයට ලක්ව සිටිති. එබැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ වෘත්තිය හිමිකම් ආරක්ෂා කරදීම සඳහා පහතින් සඳහන් කර ඇති සාධාරණ සහ යුක්ති සහගත යෝජනා කඩිනමින් කි‍්‍රයාත්මක කරන ලෙස මෙහි පහතින් අත්සන් කරන අපි ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

01.       ආයෝජන ප‍්‍රවර්ධන කලාප වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ නිර්දේශ සකස් කොට ඉදිරිපත් කිරිම සහ අඛණ්ඩ නියාමන ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරිම

02.       සේවා ස්ථාන, ආපනාශාලා, වැසිකිළි/කැසිකිළි, ප‍්‍රථමාධාර කාමර සහ විවේකාගාර අවශ්‍ය පරිදි විෂබීජහරණය  අනිවාර්යය කිරීම

03.       ආයෝජන ප‍්‍රවර්ධන කලාප තුළ වෙනම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සහ කොවිඞ් ආසාධිතයින් බවට පත්වන සේවයින් ඊට යොමු කරවීම හෝ

04.       දැනට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීම අනිවාර්යය කිරීම

05.       පළමු පෙළ ආශි‍්‍රතයින් වෙන් කොට නිරෝධායනයට යොමු කරවීම

06.       කර්මාන්තශාලාවක් තුළ ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂා සිදු කරන ප‍්‍රමාණය අවම 40% ක් දක්වා වැඩිකිරීම

07.       ආයෝජන ප‍්‍රවර්ධන කලාප ආශි‍්‍රත කටයුතු සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයන්හි සේවාව පුළුල් කිරීම

08.       පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට සිමිත සේවක ප‍්‍රමාණයක් පමණක් සේවයට කැඳවිම හා සේවයට නොකැඳවන සේවකයින්ට වැටුප් සහිත නිවාඩු ලබාදිම

09.       සම්පුර්ණ සේවක ප‍්‍රමාණය සේවයට කැඳවන එහෙත් මුලික වැටුපෙන් භාගය හෝ රු.14500/ ගෙවන සේවා ස්ථාන වලට සම්පූර්ණ වැටුප ගෙවීමට නියෝග කිරීම

මෙම යෝජනා කි‍්‍රයාත්මක කරවිම සම්බන්ධයෙන් ඔබතුමන් ඉතා කඩිනමින් කි‍්‍රයා කරනු ඇති බවට අපි හුදෙක්ම විශ්වාස කරන්නෙමු.

මෙයට විශ්වාසී,

1. අශිලා දංදෙනිය - ප්‍රධාන ලේකම් - ස්ටෑන්ඩ්අප් සේවක සංගමය

2. චන්ද්‍රා දේවනාරායන - විධායක අධ්‍යක්ෂක - RED organization කටුනායක

3. ලලිතා රංජනි දෙද්දුව කුමාර - ප්‍රධාන සංවිධායක - නිමි භාණ්ඩ ඇගලුමි හා රෙදිපිළි සේවක සංගමය

4. චමිලා තුෂාරී - ඩාබිදු සාමූහික සංගමය

5. සුගත් රාජපක්ෂ - ශ්‍රමාභිමානී කේන්ද්‍රය

6. විජේපාල වීරකෝන් - වානිජ හා කාර්මික සේවක සංගමය

පිටපත් -

1. කම්කරු කොමසාරිස් ජනරාල්, ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, කම්කරු දෙපාර්තමේන්තුව

2. ජාතික කම්කරු උපදේශන සභාවේ සියලුම වෘත්තීය සමිති