ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයින් වෙත එල්ලකර ඇති  මර්දනය වහා නවත්වන්න

ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයින් වෙත එල්ලකර ඇති  මර්දනය වහා නවත්වන්න

අදහස් දැක්වීම, විරෝධය දැක්වීම, ඒ වෙනුවෙන් ක‍්‍රියාකාරකම් සංවිධානය කිරිම පිළිබඳව දේශීයව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ජාත්‍යන්තරව ද ආණ්ඩුව බැඳී ඇති සම්මුතීන්වලට ද පටහැනිව මෙලෙස කටයුතු කිරීම නිවැරදි කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අගෝස්තු 03 වැනි දින කොතලාවල පනතට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එක්ව දියත් කළ උද්ඝෝෂණය පදනම්කර මේ වනවිට ශිෂ්‍යයින් ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් 05 දෙනෙකු බන්ධනාගාරගත කොට ඇත. තවත් වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරීන් සොයා රහස් පොලිසිය ලූහුබැඳීම් සිදුකරමින් සිටී. පිරිසක් බන්ධනාගාරගතකර ඇප ලබා නොදෙමින් සිටින අතර තවත් පිරිසක් වෙත පොලිසිය විසින් නියමිත නීති කටයුතුකර සිතාසි නිකුත් නොකර උසාවි කටයුතු කල් මැරීමට ලක්කර ඇත.

කොතලාවල පනත තුළින් නිදහස් අධ්‍යාපනයට  ඇතිවිය හැකි ව්‍යසනයට එරෙහිව සංවිධානය කළ මෙම සාමකාමී උද්ඝෝෂණයේ දී කිසිදු ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවක් නොතිබූ අතර එය පදනම් කරගෙන මෙවන් මර්දනකාරී පියවරයන්වල නිරතවීම පිළිබඳව රටේ පිළිගත් වෘත්තීය සමිති ලෙස අපගේ අප‍්‍රසාදය පළකර සිටිමු.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු ඇතුළු බන්ධනාගාරගතකර සිටින පිරිසට ඇප ලබාගැනීම සඳහා ඉතා සාධාරණ කරුණු දක්වා තිබිය දී එසේ ලබා නොදෙමින් වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ආචාරය මහිම් මෙන්ඩිස් ඇතුළු වෘත්තීය සමිති නායකයින් වෙත අත්අඩංගුවට ගැනීමේ තර්ජන එල්ල කරමින් ගෙන යන මෙම ක‍්‍රියාදාමය රටේ නීතිය, සාමය හා සාධාරණත්වය ස්ථාපිත කිරීමට ප‍්‍රතිඥා දී බලයට පැමිණි ඔබතුමා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිරූපයට වන බලවත් හානියක් බව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය කරන ස්වාධීන සංවිධානයක් වන පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ලෙස අප පෙන්වා දෙමු.

එබැවින් අදහස් දැක්වීම, විරෝධය දැක්වීම, ඒ වෙනුවෙන් ක‍්‍රියාකාරකම් සංවිධානය කිරිම පිළිබඳව දේශීයව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ජාත්‍යන්තරව ද ආණ්ඩුව බැඳී ඇති සම්මුතීන්වලට ද පටහැනිව මෙලෙස කටයුතු කිරීම නිවැරදි කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන මෙන් අප ඔබතුමා වෙතින් ඉල්ලා සිටිමු.

ඒ අනුව ඉහත සියලූ තත්වයන් සලකා බලා,

  • නගා ඇති පදනම් විරහිත චෝදනා ඉවත්කර සියලූ රැඳවියන් නිදහස් කරන ලෙසත්,
  • ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීමට ලූහු බැඳීම් ක‍්‍රියාදාමය නවතා දමන ලෙසත්,

ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීම සඳහා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදේ නම් එය ද අගයකොට සලකන බව කාරුණිකව දන්වමු.

මෙම ලිපිය සඳහා අත්සන් කර ඇති වෘත්තීය සමිති,      

ලංකා බැංකු සේවක සංගමය (CBEU), ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය(CMU), ලංකා වතු සේවා සංගමය (CESU), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), එක්සත් කම්කරු සම්මේලනය (UFL), තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO), ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය (SLWJU), එක්සත් පොදු සේවා සංගමය (CCMU), වාණිජ හා කාර්මික සේවක සංගමය (CIWU), රක්‍ෂණ සේවක සංගමය (IEU), තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය (AEUIT), ලංකා ගුරු සංගමය (CTU), දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව (RPTUA), ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය (TEDA), ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය (FBTIE), ස්වාධීන තටාක සේවක සංගමය (IDWU), ජාතික නිදහස් වෘත්තීය සමිතිය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, ලංකා වැවිලි සේවා සංගමය (CPSU), ඉඩම් හා කෘෂිකාර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය(MONLAR), PROTECT සංගමය