පළාත් පාසල් ගුරු පුරප්පාඩු ගැසට් කිරීමේ ගැටළුවක්

පළාත් පාසල් ගුරු පුරප්පාඩු ගැසට් කිරීමේ ගැටළුවක්

පළාත් පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංශෝධනය කිරීමට පොරොන්දු වූ වයස 35 සීමාව ඉක්මවූ සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට අවස්ථාව සැලසෙන පරිදි වයස් සීමාව සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් හා පාසල් තුළ පුරප්පාඩු පවතින විෂයන් ගැසට් නොකර තිබුණු බැවින් ඒවා නැවත සංශෝධනය කිරීමට එකඟ වූවත් සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලබාගැනිම සඳහා උතුරු මැද ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යවමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමක් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2021. 07. 22 දින ඔබතුමා සමඟ සිදුකළ සාකච්ඡාවේදී උතුරුමැද පළාත් ගුරු තරඟ විභාගයට අදාල ගැසට් පත්‍රයේ අප විසින් පෙන්වාදුන් අඩුපාඩු සළකා බලා සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් ස්තූතිය පුදකරමු.

නමුත්, ඔබතුමා විසින් සංශෝධනය කිරීමට පොරොන්දු වූ වයස 35 සීමාව ඉක්මවූ සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට අවස්ථාව සැලසෙන පරිදි වයස් සීමාව සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් හා පාසල් තුළ පුරප්පාඩු පවතින විෂයන් ගැසට් නොකර තිබුණු බැවින් ඒවා නැවත සංශෝධනය කිරීමට එකඟ වූවත් සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව පළකරමු.

එමෙන්ම මෙම ගැටලූ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර සංශෝධනයන් සිදුකිරීම සඳහා උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වුවද එවැනි කිසිදු සාකච්ඡාවක් ලබානොදීම සම්බන්ධයෙන්ද අපගේ කණගාටුව පළකරමු.

ආණ්ඩුකාරතුමනි, වර්තමාන කෝවිඩ් වසංගත තත්වය මත රටේ බොහෝ කාර්යයන් සිදුකර ගැනීමට අපහසු වී ඇති වටපිටාවක් තුළ අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි රැකියා විරහිත උපාධිධාරීන්ට ගැටලූ ගණනාවක් මතුවී ඇත. මෙම ගැටලූවද ඇතුළත්ව පහත සඳහන් අපගේ ඉල්ලීම්වලට ඔබතුමාගේ අවධානය යොමුකොට රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණය ඉටුකරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  1. කෝවිඩ් තත්වය මත 2021.08.30 දක්වා මුලූ රටටම අදාල වන පරිදි දැඩි සංචරණ සීමා පැනවීම නිසා අයදුම්කිරීමට අපේක්ෂාවෙන් සිටි උපාධිධාරීන්ට එම කාර්යය සිදුකරගැනීමට නොහැකිවී ඇත. මේ නිසා 2021.08.30ට යෙදී තිබූ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කරදීමටත්,
  2. රාජ්‍ය සේවයේ නිරත වූ උපාධිධාරීන්ට ගුරු විභාගය සඳහා අයදුම් කළ හැකි ලෙස සංශෝධනය කළ වයස අවුරුදු 40 සීමාව විවෘත අයදුම්කරුවන් වන රැකියා විරහිත උපාධිධාරීන්ටත් පොදු වන සේ වෙනස් කිරීමටත්,
  3. පුරප්පාඩු පැවතියද අයදුම් කළ හැකි විෂයන් ඇතුළත් නොවීම නිසා අසාධාරණයට ලක්වන බොහෝ උපාධිධාරීන් ඇත. භාෂා විෂයයන් ඇතුළත් නොවීම, පාසල් උපදේශන විෂය සඳහා සමාජ විද්‍යාව අධ්‍යනය කළ අයට අයදුම් කිරීමට නොහැකි වීම ආදී ගැටලූ නිරාකරණය කිරීමටත්,
  4. එක් එක් විශ්වවිද්‍යාලවලින් අවසන් ප්‍රතිඵල නිකුත් වුවද, උපාධිය වලංගු දිනය සහිත ලේඛනය ( Detail Certificate ) නිකුත් නොවීම නිසා අසාධාරණයට පත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඊට අයදුම් කළ හැකි ලෙස සංශෝධනය කිරීමටත්, ආණ්ඩුකාරතුමාගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන්නෙමු.

වගකිවයුතු උපාධිධාරී සංගමයක් ලෙස උපාධිධාරීන්ගේ ගැටලූ ආණ්ඩුකාරතුමා වෙත යොමුකර විසඳුමක් ලබාගැනීමට අප සංගමය බලාපොරොත්තු වේ. මේ ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔබතුමා ගියවර සාකච්ඡාවේදී අපහට පොරොන්දු වූ පරිදි උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සමඟ මාර්ගගත ක්‍රමයට හෝ සාකච්ඡාවක් ලබාදීමට කටයුතු සලසන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.