"ලාභය තකා ඇඟලුම් සේවකයින් බිල්ලට" - වෘත්තීය සමිති

"ලාභය තකා ඇඟලුම් සේවකයින් බිල්ලට" - වෘත්තීය සමිති

 

ඇඟලුම් කම්හල්වල සේවය කරන සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සහ සේවාස්ථානයේ සෞඛ්‍යාරක්ෂිතබව තහවුරු කිරීමට හැකි උපරිමයෙන් පියවර ගන්නාබව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පසුගිය දා ප්‍රකාශ කළේ ය.

ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකෙරෙන ගැටලු අලලා එම සංසදය මේ ප්‍රකාශය සිදුකළේ ය.

ඇඟලුම් කර්මාන්තය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම රටේ ආර්ථිකයට ඉතා තීරණාත්මක ලෙස වැදගත් වන පියවරක් බව සඳහන් කරන සංසදය, කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා කර්මාන්තය තුළ ගෙන ඇති පියවර රජයේ අවධානයට ද ලක්වුණු බව ප්‍රකාශ කරයි.

කෝවිඩ් වසංගතය අතරේ ඇඟලුම් කම්හලක සේවයේ යෙදෙන සේවිකාවන් පිරිසක් (2021 අගෝස්තු 25)

| සෞඛ්‍ය සහ කම්කරු අමාත්‍යංශ පැනවු සෞඛ්‍ය මාර්ගෝපදේශන නීතිරීති සියලු ඇඟලුම් කර්මාන්තශාලාවන්හි දී පිළිපැදෙන බව JAAF පවසයි

ඒ කෙසේ නමුත් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් පවසන්නේ, තම සංගමය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රකාශය "ලාභය වැඩිකර ගැනීම සඳහා සේවකයින් බිලිදීම ගැන ඔවුන්ගේ සතුට පළකිරීමක්" ලෙස සලකන බව ය.

කර්මාන්තශාලාවල සෞඛ්‍යාරක්ෂිතබව

රට තුළ දෙවැනි කොරෝනා රැල්ල ඇරඹුනේ ඇඟලුම් කර්මාන්තශාලාවක් කේන්ද්‍රකර ගනිමින් ය. පසුගිය වසරේ ඔක්තෝම්බර් 4 දා ගම්පහ රෝහලේ දී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවිකාවක් කෝවිඩ් ආසාදිත බව හඳුනාගැනුණි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහන් කළේ එම සේවිකාව සමග සෘජු හා වක්‍ර සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් ගණන 950ක් බව ය.

සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ පොකුරෙන් පුද්ගලයින් 3059ක් කොරෝනා ආසාදනය වී ඇති අතර දෙවැනි රැල්ලේ සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 95,948කි. පුද්ගලයින් 596 දෙනෙකු කොරෝනා ආසාදිතව මියගොස් ඇත.

නමුත් මේ වන විට ඇඟලුම් සේවක සේවිකාවන්ගෙන් 90%කට කොරෝනාවෛරසයට එරෙහි එන්නතේ පළමු මාත්‍රාව ද, 50%කට දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇතැ යි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරයි. මහජන සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් මේ එන්නත්කරණ කටයුතු සිදුවී ඇත.

එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කම්හල්හි කාර්යයමණ්ඩලයෙන් 70%කටත් වඩා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ඇතිබවත්, ඉදිරි සති කීපය තුළ ඇඟලුම් කර්මාන්තයේ යෙදෙන ශ්‍රම බලකාය මුළුමනින්ම එන්නත් කෙරෙනු ඇති බවත් ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන් වේ.

ඊට අමතරව, සෞඛ්‍ය සහ කම්කරු අමාත්‍යංශය පැනවු සෞඛ්‍ය මාර්ගෝපදේශන සියලු කර්මාන්තශාලාවන්හි දී පිළිපැදෙන බවත්, අහඹු කොවිඩ් පරීක්ෂණ සිදුකර, ඒවායේ ප්‍රතිඵල පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දිනපතා දැනුවත් කෙරෙන බවත් සංසදය මාධ්‍ය වෙත දන්වා තිබේ.

ඇඟලුම් කර්මාන්තය ඇඳන් 4500කින් යුත් අතරමැදි ප්‍රතිකාර ස්ථානයන් 11ක් ද ඉදිකර ඇති අතර, තවත් මධ්‍යස්ථානයන් දෙකක් ඉදිකෙරෙමින් පවතින බව ද ඔවුහු කියති.

පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි JAAFහි මහලේකම් ටියුලි කුරේ ප්‍රකාශකර සිටියේ "අවදානමට වඩා රට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඉතාම වැදගත්" බව යි.

"ව්‍යවසායකයෝ හැටියට අපි කරන්නේ මොකද්ද? අපි අවදානම් අරගෙන තමයි ව්‍යාපාර කරන්නේ. මෙතනදිත් අවදානමක් තියෙනවා, නැත්තේ නෑ. නමුත් ඒ අවදානමට අවශ්‍ය ආරක්ෂාව සපයලා තියෙනවා. හැබැයි අවදානමට වඩා රට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඉතාම වැදගත්, ඉහළයි. එහෙම නොකළොත්, ඊට පස්සේ වෙන විනාශය ගැන අපි කාටවත් උත්තර දෙන්න බැරිවෙනවා. රට අසමත් කරන්න අපි කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ," ඔහු ප්‍රකාශ කළේ ය.

ඇඟලුම් කර්මාන්තශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීම (2021 අගෝස්තු 25)

| "අහඹු කොවිඩ් පරීක්ෂණ සිදුකර, ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දිනපතා දැනුවත් කෙරෙනවා"

"මිනිස් ජාවාරමක් වගේ"
මේ සම්බන්ධයෙන් බීබීසීය කළ විමසීමක දී අදහස් දැක්වූ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් ප්‍රකාශ කරන්නේ ඇඟලුම් කම්හල් සහ වෙළඳ කලාපවල සේවකයින් අතර කොවිඩ් පැතිරීම වැඩි බව ය.

මෙම කර්මාන්තයන්හි සේවක සේවිකාවන් නවාතැන් ගන්නේ කුඩා නේවාසිකාගාරවල බවත්, එනිසා ඔවුන් අතර කෝවිඩ් පැතිරීම වැඩි බවත්, කර්මාන්තශාලා හිමිකරුවන් ආණ්ඩුව ලවා සේවකයින් අනතුරට ලක්කර, ඔවුන් බිලිදී හෝ තමන්ගේ ලාභය ඉහළ දමාගැනීමට උත්සාහ කරන බව ලේකම්වරයා පවසා සිටියේ ය.

ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් වෙනුවෙන් නේවාසිකාගාරයක් හෝ තනන්නට මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් පියවර නොගත් බව ද, සේවක සේවිකාවන්ගේ දෛනික වැටුප රු.1000කටත් අඩු බව ද ඔහු පැවසීය.

"රටේ ඩොලර් නැත්නම්, රටේ සංචිතය හිඳිලා නම්, දැන් ඒවට වගකියන්න ඕනේ මේ සේවක සේවිකාවෝ නෙවෙයි නේ. මේ සේවක සේවිකාවන් උපයන මේ විදේශ විනිමයෙන් නම් මේ රට පවත්වාගෙන යන්නේ, ඒ තරම් බැරෑරුම්, නැත්නම් වැදගත් සේවාවක් කරනවා නම්, ඒ නිසාම තමයි මේ සේවක සේවිකාවන්ව විශේෂයෙන්ම ආරක්ෂා කරගත යුත්තේ! ඒත් මේගොල්ලො මේ විදේශ විනිමය උපයනවා කියලා, සේවක සේවිකාවන්ගේ ජීවිතය පරදුවට තියලා විදේශ විනිමය උපයන එක රටක, ආණ්ඩුවක සදාචාරාත්මක ක්‍රියාවක් නෙවෙයි… මේ සේවකයින්ව ජාවාරමකට යොදවලා තියෙනවා, "අපට ඩොලර් ගන්න ඕනේ, උඹලා වැඩ කරපල්ලා" කියලා."

වෙළඳ කලාපේ සේවකයින් ආසාදිතයින් වූ විට ප්‍රතිකාර කිරීමට රෝහලක් නොමැති බව පවසන ඇන්ටන් මාකස් පැවසුවේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන එන්නත් දෙකම ලබාගත් තම ශාඛාවේ ලේකම්වරියක් දෙවැනි වරටත් ආසාදිත වී මීගමුව රෝහලේ රෝහල්ගත වී සිටින බවයි.

"එතකොට ඒ සේවිකාවව ගෙනිච්චම මීගමුව රෝහලට, එයාට ඔක්සිජන් දීලා ඉවරවෙලා එයාව ඒ රෝහලේ නවත්තගත්තම, ඇටෙන්ඩන්ට්ලා ඇවිල්ලා රෝහලේ වාට්ටුව ඇතුළේ තියෙන කුණු ගොඩගැහිලා තියෙන තැනක් පෙන්නලා කිව්වා, "මේ ටික ඔයා පොඩ්ඩක් අතුගාලා පැත්තකට කරලා දාලා, මෙතන පැදුරක් දාලා ඔයා නිදාගන්න" කියලා. ඒක තමයි සේවිකාවන්ට සලකන විදිය. ඇයි ඔය හාම්පුතාලට බැරි කටුනායක වෙළඳ කලාපේ සහ අනික් වෙළඳ කලාපවල රෝහල් හදලා සේවක සේවිකාවන්ට බෙහෙත් කරන්න?," මහලේකම් ඇන්ටන් මාක්ස් විමසා සිටියේ ය.

සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවමත් භාවිත වන්නේ අප්‍රේල් මාසයේ දී නිකුත් කෙරුණු සෞඛ්‍ය විධිවිධාන බවත්, එකල ඩෙල්ටා පැතිරීමක් නොතිබූ බවත් සමලේකම්වරයා බීබීසී සිංහල සේවය සමග සඳහන් කළේ ය.

දැනට සිදුකරන පීසීආර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව සඳහන් කරන ඔහු, රෝහල්ගතව සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින සේවක සේවිකාවන් පිළිබඳ ලේඛනයක් ආයතනයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යා යුතු බවත් කියා සිටියි. "මොකද අද සේවක සේවිකාවන්ව අරන් යනවා, කවුරුත් දන්නේ නෑ කොහෙද ඉන්නේ කියලා," ඔහු පැවසීය.

"අනිත් එක, මේ විධිවිධාන ක්‍රියාත්මක වෙනවා ද නැද්ද කියන එක ගැන නියාමනය කිරීමට ප්‍රදේශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ ප්‍රමුඛත්වයෙන් කමිටුවක් පත්කළ යුතු යි. අද එහෙම කිසිම නියාමනයක් නෑ. හාම්පුතුන්ට ඕනෑ විදියට තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ."

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපස මාර්ගය මාරුවන මගීන්
ඇඟලුම් කර්මාන්තය මෙතරම් වැදගත්ද?
ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන්නකි. මෙම කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට 6% දායකත්වයක් සපයන අතර, රටේ මුළු අපනයනවලින් 40%ක් සපුරයි. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන මාර්ගයන්ගෙන් දෙවැනි ස්ථානයේ පවතින්නේ ද ඇඟලුම් කර්මාන්තය යි. මෙම කර්මාන්තය මඟින් දේශීය වෙළඳපොළ තුළ ලක්ෂ ගණනක රැකියා අවස්ථා ජනිත කර ඇත.

මේ රෙදිපිළි සහ ඇඟලුම් අතරින් විශාල ප්‍රතිශතයක් ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයන කෙරෙන අතර, එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය, සහ බෙල්ජියම අනෙකුත් ප්‍රධාන ගැනුම්කරුවන් අතර වෙති.

2019 වසරේ දී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයන් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 5307.80ක් උපයා තිබේ. මෙය 2020 වසර වන විට ඇ.ඩො. මිලියන 4155.99ක් දක්වා පහත වැටී ඇති නමුත්, මේ වසරේ මෙතෙක් කළ අපනයනයනවල ආදායම ගිය වසරට වඩා ඉහළ ගොස් ඇත.

ඇඟලුම් අපනයන්හි පහත වැටීමට 'ලොක්ඩවුන්' සහ සංචරණ සීමා, සේවක සේවිකාවන්ට කෝවිඩ් වැළඳීම, අත්හිටවූ ඇනවුම්, සේවක සේවිකාවන් සේවයට වාර්තා නොකිරීම, සහ සැපයුම් ජාලයන්ට ඇතිවූ බාධා යනාආදිය ද හේතු විය.
(BBC/සිංහල-සංදේශය)