ඇඟලුම් සේවක සේවිකාවන් වෙනුවෙන් කඩිනම් මැදිහත්වීම් අත්‍යවශ්‍යයි

ඇඟලුම් සේවක සේවිකාවන් වෙනුවෙන් කඩිනම් මැදිහත්වීම් අත්‍යවශ්‍යයි
කොවිඩ් අවදානම ඉතිහාසයේ අන් කවරදාටත් වඩා දැනෙන, නිරෝධායන ඇඳිරිනීතිය එළඹෙන 30 වන දින දක්වා ක්‍රියාත්මක වන මොහොතක් අපි පසුකරමින් සිටින්නෙමු. පවතින සංචරණ සීමා තවත් දැඩි කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවසන අවස්ථාවක සෙසු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති බහුතරයක් විසින් පෙන්වා දෙනු ලබන්නේ මෙම නිරෝධායන ඇඳිරි නීතිය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. එනම් 'රට වැසීම' හුදෙක් නාමික සංසිද්ධියක් විනා ප්‍රායෝගිකව එවැන්නක් සිදුනොවනවා පමණක් නොව නිරෝධායන ඇඳිරිනීතියේ අරමුණු ඉටු නොවන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවයි. 
 
වෘත්තීය සමිති විසින් නඟන මෙම චෝදනාව කිසිසේත්ම බැහැරකරලිය හැකි නොවේ. මන්ද යත් මේ වන විටත් ඇඟලුම් ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, කෘෂිකාර්මික, කාර්මික, වරාය,ජනමාධ්‍ය,  ගුවන්තොටුපළ, තේ කර්මාන්තය, සෞඛ්‍ය, ආහාර නිපැයුම් හා බෙදාහැරීම් ආදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවයේ නිරත වන බැවිනි. ඔවුන්ට අදාළ භාණ්ඩ හා සේවාවන් රැසක් ක්‍රියාත්මක වන බැවිනි. මේ සියලු ක්ෂේත්‍රයන් අතර වඩාත් අවදානමකට හා අසාධාරණයට ලක්ව ඇත්තේ ඇඟලුම් කෂේත්‍රයේ සොයුර සොයුරියන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලක්ෂ සංඛ්‍යාත මෙම පිරිසගේ ජීවිත අවදානමේ නොදමා ඇඟලුම් කර්මාන්තද, වසා දැමිය යුතු බව අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ මහතාද පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබුණි. එහෙත් රජය මෙන්ම කර්මාන්ත හිමියන්ද සිටින්නේ කුමන අවදානම් තත්ත්වයක් මධ්‍යයේ වුවද, ඇඟලුම් කර්මාන්ත පවත්වාගත යුතු තීරණයේය.
 
නිදසුනක් ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා පවසා තිබුණේ මෙවැන්නකි.
 
“කතාකරලා කියන්න පුළුන් වහන්න, කරන්න එපා කියන්න පුළුවන් හැබැයි ඒ වහලා ඉන්න අයට වහලා ඉන්න කාලසීමාව තුළ විතරක් නෙමෙයි මේ ව්‍යාපාරය වැටිලා විනාශ වෙලා ගියාට පස්සේ බලාගන්න කවුද ඉන්නේ? කවුරුත් නැහැ. ව්‍යවසායකයෝ හැටියට අපි අවදානම් අරගෙන තමයි මේ ව්‍යාපාර කරන්නේ. මෙතැනදිත් අවදානම් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඒ අවදානමට අවශ්‍ය ආරක්ෂාව සපයලා තියෙනවා. හැබැයි අවදානමට වඩා රට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඉතාම වැදගත්. ඉතාම ඉහළයි. එහෙම නොකොළොත් ඊට පස්සේ වෙන විනාශය ගැන අපිට කාටවත් උත්තර දෙන්න බැරිවෙනවා. රට අසමත් කරවන්න අපි කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. “ යනුවෙනි.
 
වැඩකරන ජනයාගේ ජීවිත අවදානම නොතකා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කරමින් විධායකය ප්‍රමුඛ ආණ්ඩුවේ පූර්ණ අනුමැතිය සහිතව කර්මාන්ත හිමිකරුවන් විසින් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම සැබවින්ම ඛේදවාචකයකි. විදේශ විනිමය හෝ ඩොලර් සංචිත හිඳීයාම සම්බන්ධයෙන් රට සැබෑ ආර්ථික අර්බුදයක ගිලී සිටින්නේ නම්, ඇඟලුම් කර්මාන්ත ඒ් වෙනුවෙන් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු නම් අවම වශයෙන් සේවක-සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම රජයේද, කර්මාන්ත හිමියන්ගේද වගකීමකි. එහෙත් එවැනි පැහැදිලි වැඩපිළිවෙළක් හෝ නොවීම කෙතරම් අභාග්‍යයක්ද?
 
 
ස්ටෑන්ඩ්අප් සේවක සංගමය, RED organization, නිමි භාණ්ඩ ඇඟලුම් හා රෙදිපිළි සේවක සංගමය, ඩාබිදු සාමූහික සංගමය, ශ්‍රමාභිමානී කේන්ද්‍රය, වානිජ හා කාර්මික සේවක සංගමය යනාදී ඇඟලුම් ක්ෂේත්‍රය තුළ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන සංවිධාන එකමුතුව පෙන්වාදෙන්නේ ඇඟළුම් හා අනෙකුත් කර්මාන්තශාලාවන්හි සේවයේ නියුක්ත සේවක සේවිකාවන් මේ වන විටි මුහුණ පා සිටින තත්ත්වයන් පිළිබඳ විශේෂ අවධානය සහ කඩිනම් මැදිහත්විමක් අත්‍යවශ්‍ය බවයි. කම්කරු අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියකින් ඔවුන් මේ පිළිබඳ අවධාරණය කර තිබේ. එම නිවේදනයේ වැඩ කරන සේවක පිරිස් පත්ව සිටින අවදානම් තත්ත්වය පහත කරුණු මගින් සාරාංශ ගත කර ඇත.
 
* නිර්දේශිත හා විධිමත් සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද ක්‍රියාත්මක නොකිරීම
විෂබීජහරණය නොකිරීම
 
- කර්මාන්තශාලාව, වැසිකිළි/කැසිකිළි, ආපනශාලා, ප‍්‍රථමාධාර කාමර හා විවේකාගාර, සේවක මහත්ම මහත්මීන්ගේ නේවාසිකාගාර (නිරෝධායනයෙන් පසු)
අත් පිරිසිඳු කාරක/සබන් ලබා නොදීම.
 
- පළමු පෙළ ආශ්‍රිතයින් අන් සේවකයින් සමග සේවයේ යෙදවීම.
 
- රෝගලක්ෂණ පෙන්වන සේවකයින් දිර්ඝ වේලාවක් ප‍්‍රථමාධාර කාමර/විවේකාගාරයන්හි රඳවා තිබීම.
 
* ආසාධිතයින් ඔවුනගේ නේවාසිකාගාරයන්හි ම රැඳවීම.
 
- එක් නේවාසිකාගාරයක කර්මාන්තශාලා කිහිපියක සේවක/සේවිකාවන් නවාතැන් ගෙන සිටීම.
 
- ඇතැම් සේවක මහත්මීන් තම කුඩා දරුවන් සමග එකී නේවාසිකාගාරයන්හි නැවතී සිටීම.
 
- සියළු නේවාසිකයින් එක් වැසිකිළියක්, ජල කරාමය හෝ ළිඳ භාවිතා කිරීම.
 
- ස්වාමි පුරුෂයා/භාර්යාව ආසාධිත වී සිටියදී අනෙක් පාර්ශවය සේවයට කැඳවීම.
 
* සම්පූර්ණ සේවක ප‍්‍රමාණය සේවයට කැඳවීම හේතුවෙන් පුද්ගල දුරස්ථභාවය ක්‍රියාත්මක නොවීම.
 
- වායුසමීකරණ ක්‍රියාත්මක කිරීම නිසා ජනෙල්/වා කවුළු විවෘත නොකිරීම.
 
* ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂාව නිසි ලෙස සිදු නොකිරීම.
 
- තෝරාගත් ඉතා සිමිත සේවක සංඛාවකට පමණක් අදාළ පරික්ෂණ සිදු කිරීම.
 
- පළමු පෙළ ආශ්‍රිතයින් අදාළ පරික්ෂණ සඳහා යොමු නොකිරීම.
 
- එන්නත් ලබාදි ඇති පිරිස් එකී පරීක්ෂණයන්හිදි නොසළකා හැරීම.
 
- එන්නත් ලබාගැනීම සඳහා ඇති අවස්ථාව ලබා නොදීම/මඟහැරී යාම.
 
- එන්නත් ලබාගැනිම සඳහා රාජකාරි නිවාඩු ලබා නොදීම.
 
- කර්මාන්තශාලාව තුළ හෝ ආශ්‍රිතව එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක නොවීම.
 
- එන්නත් ලබාදිම සිදු කරන ස්ථාන පිළිබඳ විස්තර නොලැබීම.
 
* මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයන්හි සහාය ප‍්‍රමාණවත් නොවීම.
 
- මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවීම.
 
- නිරෝධායනයට යොමුකර සිටින සේවකයින් සම්බන්ධයෙන් පරික්ෂාවක් සිදු නොවීම.
 
* රජයේ රෝහල් වෙතින් ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකිවීම.
 
- රජයේ රෝහල් ධාරිතාව ඉක්මවා තිබීම.
 
- වෙළඳ කලාප සේවකයින් වීමෙන් ම නොසළකා හැරීම.
 
* වෘත්තීය හිමිකම් අහිමිකිරීම / කප්පාදු කිරීම.
 
- සම්පූර්ණ සේවක ප‍්‍රමාණය සේවයට කැඳවා තිබුණ ද මූලික වැටුපෙන් භාගය හෝ රු. 14500/ පමණක් ගෙවීම.
 
- අතිකාල නොගෙවීම.
 
- නිෂ්පාදන ඉලක්ක අසීමිත ලෙස ඉහළ දැමීම.
 
- අඩු සේවක සංඛ්‍යාවක් මඟින් සම්පුර්ණ සේවක සංඛ්‍යාව විසින් සපුරන නිෂ්පාදන ඉලක්ක ලබා ගැනීම.
 
- ගර්භණි සේවක මහත්මීන්ගේ සේවය අවසන් කිරීම.
 
- සේවයට නොකැඳවන ගර්භණී සේවක මහත්මීන්ට වැටුපෙන් කොටසක් හෝ නොගෙවීම.
 
- ප‍්‍රසාද දීමනාව ගෙවීමට හැකියාව තිබියදී එම දීමනාව නොගෙවීම.
 
ආසාධිත සේවකයින් ඔවුනගේ නේවාසිකාගාර වෙත යැවීමෙන් පසු කිසිදු පසු විපරමක් නොකිරීම සහ මුදල් ගෙවීමට සිදුවීම මත කලාප ඇතුළත පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත සේවකයින් යොමු නොකිරීම.
 
 
මේ අනුව ඉහත කී තත්ත්වයන් හේතුවෙන් ආයෝජන ප‍්‍රවර්ධන කලාප ඇතුළත සේවයේ නියුක්ත කර ඇති සේවක සේවිකාවන් කොවිඞ් වසංගතයට ගොදුරුවීමේ බලවත් තර්ජනයකට, ශාරිරික හා මානසික පීඩාවට සහ අසාධාරණයට ලක්ව සිටින බැව් අමුතුවෙන් කිව යුතු ‍නොවේ. එබැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ වෘත්තිය හිමිකම් ආරක්ෂා කරදීම සඳහා පහතින් සඳහන් කර ඇති සාධාරණ සහ යුක්ති සහගත යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහි පහතින් අත්සන් කරන අපි ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
 
1.ආයෝජන ප‍්‍රවර්ධන කලාප වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ නිර්දේශ සකස් කොට ඉදිරිපත් කිරිම සහ අඛණ්ඩ නියාමන ක‍්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිම.
 
2.සේවා ස්ථාන, ආපනාශාලා, වැසිකිළි/කැසිකිළි, ප‍්‍රථමාධාර කාමර සහ විවේකාගාර අවශ්‍ය       පරිදි   විෂබීජහරණය  අනිවාර්යය කිරීම.
 
3.ආයෝජන ප‍්‍රවර්ධන කලාප තුළ වෙනම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සහ කොවිඞ් ආසාධිතයින් බවට පත්වන සේවයින් ඊට යොමු කරවීම හෝ
දැනට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීම අනිවාර්යය කිරීම.
 
4. පළමු පෙළ ආශ්‍රිතයින් වෙන් කොට නිරෝධායනයට යොමු කරවීම.
 
5. කර්මාන්තශාලාවක් තුළ ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂා සිදු කරන ප‍්‍රමාණය අවම 40% ක් දක්වා වැඩිකිරීම.
 
6.ආයෝජන ප‍්‍රවර්ධන කලාප ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයන්හි සේවාව පුළුල් කිරීම.
 
7.පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට සිමිත සේවක ප‍්‍රමාණයක් පමණක් සේවයට කැඳවිම හා සේවයට නොකැඳවන සේවකයින්ට වැටුප් සහිත නිවාඩු ලබාදිම.
 
8.සම්පුර්ණ සේවක ප‍්‍රමාණය සේවයට කැඳවන එහෙත් මුලික වැටුපෙන් භාගය හෝ රු.14500/ ගෙවන සේවා ස්ථාන වලට සම්පූර්ණ වැටුප ගෙවීමට නියෝග කිරීම.
 
මෙම යෝජනා ක්‍රියාත්මක කරවිම සම්බන්ධයෙන් ඔබතුමන් ඉතා කඩිනමින් ක්‍රියා කරනු ඇති බවට අපි හුදෙක්ම විශ්වාස කරන්නෙමු.
 
මෙයට, විශ්වාසී,
 
අශිලා දංදෙනිය – ප්‍රධාන ලේකම් – ස්ටෑන්ඩ්අප් සේවක සංගමය
 
චන්ද්‍රා දේවනාරායන – විධායක අධ්‍යක්ෂක – RED organization කටුනායක
 
ලලිතා රංජනි දෙද්දුව කුමාර – ප්‍රධාන සංවිධායක – නිමි භාණ්ඩ ඇගලුමි හා රෙදිපිළි සේවක සංගමය
 
චමිලා තුෂාරී – ඩාබිදු සාමූහික සංගමය
 
සුගත් රාජපක්ෂ – ශ්‍රමාභිමානී කේන්ද්‍රය
 
විජේපාල වීරකෝන් – වානිජ හා කාර්මික සේවක සංගමය
 
 
 
 
සටහන-පී.ඩබ්