"රට අනතුරක" අවිද්‍යාවෙන් බැහැරවෙලා විද්‍යාවට ඉඩදෙන්න

"රට අනතුරක" අවිද්‍යාවෙන් බැහැරවෙලා විද්‍යාවට ඉඩදෙන්න

රට තියෙන්නේ රතු කලාපයක. දකුණු අප්‍රිකාණු ප්‍රභේදය මුහුදට එහායින් අපට අතවනමින් තිබියදි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වහකිවයුත්තෝ කියනවා "ඒක එන එක නවත්තන්න බෑ, ඇවිල්ල්ලා පැතිරුණාට පස්සේ දැන ගමු" කියලා.

ප්‍රභේද අරගෙන එන්නේ රටට අළුතින් ඇතුළුවන අය. ඒ අයව පරීක්ෂාකරන්න ගුවන්තොටුපල ඇතුලේ දාපු රාසායනාගාරයට පිට රටවල ඉදලා එන අයගේ නිදර්ශක එකක්වත් එන්නේ නෑ. හේතුව විදිහට තියෙන්නේ ඒවා පෞද්ගලික අංශයට යවලා කොමිස් ගන්න වුවමණාව.

"දොරටු ආරක්ෂා කිරීම" තාමා කොවිඩ් වලට ලොව පුරා භාවිත වන අංක එකේ න්‍යාය. ඒක දැං රටකට විතරක් නෙවේ, ආයතන කොවිඩ් වලින් ආරක්ෂා කර ගැනීමට පවා බහුල වශයෙන් භාවිත වෙනවා. අපේ රට දිවයිනක් වීමේ වාසියවත් සලකන්නේ නැතුව, දොරටුව අයාලේ ඇරලා, ආපුදෙන්, කරන්න දෙයක් නෑ කියන සෞඛ්‍ය අමාත්‍යාංශයක් අපට තියෙන්නේ.

ඕනේනම් කරන්න ඕන තරම් දේවල් තියනවා. වුමණාවක් නැතිකම, වසංගතය පාළණය කරනවාට වඩා, පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රසායනාගාර සේවාව විකෘති කරණ ප්‍රතිපත්ති තීරණ නිසා ඒ කිසිවක් ක්‍රියාතමක කර ගන්න බැරි වෙලා තියනවා.

දොරටුවෙන් ඇතුළුවෙන හැමෝම අපි දැනයමත් PCR පරීක්ෂාවකට ලක් කරනවා. ඒක වගකීමක් සහිතව රජයේ රසායනාගාරයක කරන්න තීරණයක් ගන්න එක පළමු වැන්න. හැමෝටම ප්‍රභේද පරීක්ෂණ කරන්න බැරිනම් "ප්‍රභේද අනුමාන කල හැකි" PCR ප්‍රතික්‍රියකයක් භාවිතා කරලා, PCR කරන එක දෙවැන්න. ඒකට වැඩිවෙන්නේ රුපියල් 100ක් වගේ මුදලක්. ඒ වියදම කොහොමටත් දරන්නේ රජය නෙවේ. අනුමාන කරන ප්‍රභේද සදහා ප්‍රභේද පරීක්ෂණ කරන එක තුන් වැන්න. ඒ සරල ක්‍රමයෙන් විතරක් අපට පහසුවෙන් රටට ඇතුළුවෙන දොරට ආරක්ෂා කර ගන්න පුළුවං.

අප්‍රිකාණු ප්‍රභේදය එනවා කියන්නේ අලුත්ම වෛරසයක් අළුතින් එනවා වගේ එකක්. පැතිරීම වැඩියි. මරණ වැඩියි. ගහපු ඒන්නත් එකක් වත් හරියට වැඩ කරයිද කියන එක පිළිබද විශ්වාසයක් තියා ගන්න බෑ.

ලංකාව තාම ප්‍රභේද පිළිබදව අදුරේ අතපත් ගාන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට අවමය කලත් අපි මාසයකට ප්‍රභේද පරීක්ෂණ 1300ක් කරන්න ඕනේ. කරන්නේ 400යි. ඒකත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බලෙන් වගේ කරමින් ඉන්නේ.

වෛරස සම්භවයක් සහිතව වසංගතයක් ඇති වෙන කාලයක ජාන විශ්ලේෂණ සිදු කිරීම ඉතාමත්ම වැදගත්. ඒත් මේ ජාන විශ්ලේශණ සිදු කිරීමේ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයට නැහැ. ඒ පහසුකම් හදා ගන්න අවුරුදු එකහාමාරක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියනවා.

මෙතරම් බැරෑරුම් අවස්ථාවක විශේෂයෙන්ම මේ කොවිඞ් 19 වසංගතය අපේ ජන ජීවිතයට විශාල වශයෙන් අභියෝග කරන අවස්ථාවක, රටට අවශ්‍ය ජාන විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්.

ඔබ දන්නවා අපේ රටේ මේ වන විට සංචාරකයින් ගමන් කිරීම නුසුදුසු වන රතු ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන රටක්. සමහරු මේ අස්සේ සංචාරක ව්‍යාපාර ගැන කථා කරනවා. රතු කලාපයක් කියලා ලෝකය පුරා හංවඩු ගහපු රටකට, තමංගේ රටේ තියන ප්‍රභේද ගැන හරි වැරහීමක් නැති බව ඔප්පු කරලා තියන රටකට, සංචාරකයෝ එන්නේ නෑ. අපේ රටේ සෞඛ්‍ය සේවාවට විධිමත් වැඩපිළිවෙලක් සහ විද්‍යාත්මක භාවිතයක් නෑ කියලා තහවුරු වෙන වෙන විදිහට වැඩකලොත්, කොවි නැතත්, අපිට ආකරෂණය කර ගන්න වෙන්නේ ලෙඩ අරගෙන, ස්මග්ලිං වලට එන හිගන සංචාරකයෝ විතරයි.

මේ වන විට වසංගත තත්ත්වය අපේ ආර්ථිකයට බරපතළ වශයෙන් අභියෝග එල්ල කරනවා. යම් ආකාරයකින් මේ වසංගතය පාලනය කිරීමෙන් පසුව නැවතත් අපේ රටට පෙර පැවතී ජන ජීවිතය අවශ්‍යයි. පෙර තිබූ ආර්ථිකය අවශ්‍යයි.

මෙහිදී අපිට මූලික වශයෙන් රතු ලැයිස්තුවෙන් ඉවත් වන්නට නම් සපුරාලිය යුතු කාරණා තිබෙනවා. එක, අපේ රටෙන් අඩුවෙන් ආසාදිතයන් වාර්තා විය යුතුයි. ඒ කියන්නේ හොඳ රෝග පාලනයක් මේ රටේ පැවතිය යුතුයි.

දෙවැන්න අපේ රටේ ජාන විශ්ලේශණ පහසුකම් තිබෙනවාද කියන කාරණය ගැන එම රටවල් විමසිලිමත් වෙනවා. ඊට හේතුවක් තිබෙනවා. ජාන විශ්ලේශණයෙන් විතරයි වෛරසයේ විකෘතිතා, නව ප‍්‍රභේද ඇතිවීම ගැන අපට අවබෝධයක් ලබාගත හැක්කේ.

ඔබ දන්නවා ඉන්දියාවෙන් ඩෙල්ටා ප්ලස් වාර්තා වුණාම ඒක මුලින්ම අනාවරණය කරගත්තෙ එංගලන්තයේ පර්යේෂණාගාරයක. අපේ රටේ එංගලන්තයේ රසායනාගාර සේවාවට සමගමීව ආරම්භ කරපු, අවුරුදු 100කට වඩා පැරණි වෛද්‍ය පර්යේෂණ ආයතනයක් පැවතියත්, රටට මේ මොහොතේ අවශ්‍ය කිසිදු පර්යේෂණයක් සිදු කරන්නේ නැහැ. කොවිඩ් වලට අවුරුදු එකහාමාරක් ගතවෙලත්, අඩුම තරමින් ප්‍රභේද පරීක්ෂණයක්වත් කර ගන්න බැරි විදිහට ඒ ආයතනය අකර්මණ්‍ය කරවලා.

දැනටමත් ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘතිතා තුනක් අපේ රටෙන් හමුවන බව අප මේ වන විට හªනාගෙන තිබෙනවා. එක් විකෘතිතාවයක් අපේ රටෙන් වාර්තා වෙන්නේ ලෝකයේ පළවෙනි වතාවට. මැලේසියාවේ මීට පෙර වාර්තා වූ විකෘතිතාවයකුත් දැනට රටවල් කිහිපයක වාර්තා වන තවත් විකෘතිතාවයකුත් වශයෙන් විකෘතිතා තුනක් අපේ රටෙන් හදුනාගෙන තිබෙනවා. නව විකෘතිතා වල ඇති අවදානම වන්නේ එයින් නව ප‍්‍රභේදයක් ඇති වීමේ ප‍්‍රස්ථාවයි. අප ඩෙල්ටා සුපර් ප‍්‍රභේදයක අවදානම මුව විට සිටිනවා. අප දැනටමත් මේ දැඩි අවදානම සම්බන්ධයෙන් පර්යේෂණ කලයුතුව තිබෙනවා.

කොහොම වුණත් අපි විද්‍යාත්මක භාවිතාවෙන් පිටමං වෙලා, මිත්‍යාවට, ගට් ෆීලින්ග් එකට වැඩකරන බවක් තමය ප්‍රකට කරමින් ඉන්නේ. ඒ අතර දේශපාළණ තීරණ වල අඩුපාඩු නිසා සාමුහිකත්වය බරපතල විදිහට නැති කරගෙන තියනවා. බල්ලාගේ වැඩේ, වසංගතය පාවිච්චි කරගෙන්, බුරූවා විසින් කරන, බූරුවාටම දෙන්න හදන තත්වයකුත් තියනවා. සුවසිරිපායෙන් පටන් අරගෙන සෑම පවුලක් දක්වාම විහිදිලා තියන සෞඛ්‍ය ව්‍යුහය, යාන්තරණය අත හැරලා, සෞඛ්‍ය සදහා යුධ හමුදාව හෝ සෞඛ්‍ය හැර වෙනත් ඕනෑම කෙනෙකු.මත විශ්වාස තබමින් ඉන්නවාද කියන සැකය සමහර තීරන මගින් පෙනෙන්නට තියනවා.

කොහොම වුණත් අපි ඉන්නේ බැරෑරුම් තැනක. රට තියෙන්නේ අනතුරුදායක. තැනක. ඒ නිසා අපි රට කරවන හැමෝගෙන්ම ඉල්ලන්නේ විද්‍යාවට ඉඩ දෙන්න. සාමුහිකත්වය ගොඩ නංවන්න. ඒ ඒ අයගේ වගකීම් ඒ අයට පවරන්න. අනතුරට මුහුණ දීමට විතරක් හරි, එකට එකතුවෙලා වැඩ කරන්න පුළුවං කියන විශ්වාසය, යාන්ත්‍රණය රටතුල තහවුරු කරන්න.

රවී කුමුදේශ්
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය