කෝටි ගණනක අලාභයක් ගැන දුම්රිය වෘත්තීය සමිති ජනපතිට කියයි

කෝටි ගණනක අලාභයක් ගැන දුම්රිය වෘත්තීය සමිති ජනපතිට කියයි

දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල පරණ යකඩ මෙට්‍රික්ටොන් 3000 ක් හෙවත් කිලෝ ලක්ෂ 30 ක්  රුපියල් කෝටි ගණනක අලාභයක් වන ආකාරයට විකිණීමට  ප්‍රවාහන අමාත්‍යාංශයේ  සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පිරිසක් උත්සාහ කරන බවට දුම්රිය වෘත්තීය සමිති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම්දී තිබේ.

මෙම යකඩ තොගය සම්බන්ධ ටෙන්ඩර් දෙකක්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ යකඩ සමාගමකට දුම්රිය දෙපාර්තමේන්තුවට අලාභයක් වන ආකාරයට බලධාරීන් පිරිසක්  උත්සහ  දරන බවත් මෙම ටෙන්ඩර් විනිවිදභාවයෙන් තොර වීම හේතුවෙන්  අත්හිටුවා නැවත ටෙන්ඩර් කැඳවීමට හිටපු ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ  පියවර ගෙන තිබියදී ඇමතිවරයා මාරු කිරීමෙන් පසු  එම උත්සහාය  නැවත ක්‍රියාත්මක කර කර ඇති බවත් දුම්රිය නගාසිටුවීම සඳහා වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ පැවසීය.

මීට මාස 6  කට පමණ පෙර  යකඩ කිලෝවක් සදහා රුපියල් 65 ක ලංසුවක් ඉදිරිපත් කළ ඉල්ලුම්කරුවෙකුට  ලබානොදී රුපියල් 45 ක අඩු ලංසුවක් ඉදිරිපත් කළ ප්‍රධාන පෙළේ යකඩ නිෂ්පාදන  සමාගමක්  වෙත ලබා දීමට උත්සාහ කළ බවත්  කිලෝවක් රුපියල් 65 ක  මිලක් යටතේ ලබා දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 19 කට අධික මුදලක් ලැබීමට නියමිතව තිබූ බවත් එම ටෙන්ඩරයම රුපියල් 45 බැගින් ලබා දීමෙන් රුපියල් කෝටි 13 කට අධික මුදල් ප්‍රමාණයක් පමණක් ලැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 6  ක පමණ පාඩුවක් වන බවට වෘත්තීය  සමිති නියෝජිතයෝ පවසති.

වර්තමාන වෙළඳපොලේ  අබිලි යකඩ කිලෝවක මිල රුපියල් සියයට අධික බවත් ඒ හේතුවෙන් නැවත ටෙන්ඩර් කැඳවා නිසි ක්‍රියාපටිපාටියකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් නොවන ආකාරයට මෙම යකඩ තොගය අලෙවි කළ යුතු බවත් ඉන්දික දොඩම්ගොඩ  මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ද මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

මූලාශ්‍රය -ලංකාදීප