හිෂාලිනීට යුක්තිය! හරි තොරතුරු රටට හෙලිකරනු-ප්‍රොටෙක්ට් සංගමයෙන් ඉල්ලීමක්

හිෂාලිනීට යුක්තිය! හරි තොරතුරු රටට හෙලිකරනු-ප්‍රොටෙක්ට් සංගමයෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය සිදු වී අදට මාස 2කි. පසුගිය ජූලි 3 වනදා අධික ලෙස පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කළ හිශාලිණි නම් දැරිය ජූලි 15 දා මිය ගියේ අගේ මරණය පිළිබඳව සැක සහිත කාරණා බොහොමයක් ඉතිරි කරමිනි. මේ වන විට රිෂාඩ් බදුර්දීන්ද නඩුවේ 5 වන සැකකරු ලෙස නම් කොට ඇති අතර එය අගෝස්තු 23 වනදා නඩු වාරයේදී තීරණය විය. එසේම දැරිය මිය ගිය දිනට පසු දින ප්‍රධාන පොලිස් පරීක්ෂකයකු එම නිවසට ගොස් එම ස්ථානය විකෘති කර ඇති බවට අනාවරණය වන බවද පැවසේ. එසේම දැරියගේ සිරුර දැඩි ලෙස පිළිස්සී තුවාළ සහිත නිසා ඇය ලිංගිකව දුෂණයට ලක්ව ඇති කාලයක් නිර්ණය කළ නොහැකි බවද පැවසේ. එසේම දැරියගේ සිරුර බොහෝ සේ විනාශ වී තිබූ නිසා මෙය ගිනි තබා ගැනීමක්ද ගිනි තැබීමක්ද යන්න සොයා ගැනීමට අපහසු තත්ත්වයක පවතින බවද පැවසේ. තවද දැරිය බෞද්ධාලෝක මාවතේ නිවසේ දී ගිනි ගැනීමට ලක් වුයේද නැතිනම් වෙනත් ස්ථානයක දී ගිනි ගැනීමට ලක් වුයේ ද යන්න ද සැකසහිත බව  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ සදහන් කරන ඇත.

ඉහත කාරණා සහ තවත් බොහෝ සැක සහිත කාරණා රැසක් පාදක කොටගෙන මෙම සිදු වීමට අදාළ පරීක්ෂණ සිදු වෙමින් පවතින අතර මේ සඳහා විවිධ බලපෑම් සිදු වෙමින් පවතින බවද අසන්නට ලැබේ. මෙහිදී බදුර්දීන් මන්ත්‍රී වරයාට අදාලව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා ඇත්තේ, මන්ත්‍රීවරයා විසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයාට පවා තර්ජනය කර ඇති පසු බිමක මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට පවා බලපෑම් කළ හැකි බවයි.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී වරයාගේ බිරිඳ, ඇයගේ පියා, ඇගේ සහෝදරයා, දැරිය කොළඹට ගෙන ආ තැරව්කරු සහ මන්ත්‍රීවරයාද නඩුවේ සැක කරුවන් වී ඇති නිසාවෙන් මන්ත්‍රී වරයා විසින් තමා සතු උපරිම ශක්තීන් නිර්දෝෂී වීම සඳහා යොදා ගනු ඇත. බදුර්දීන් මන්ත්‍රීවරයා සතු එම ශක්තීන් මොනවාද යන්න කෙරෙහිත් අප විසින් විමසිල්ලෙන් සිටින්නෙමු. ඒවායේ ඇති දේශපාලන සබඳතා සහිත ශක්තීන් කෙරෙහි සුවිශේෂී අවධානයකින් යුතු වන්නේ බලපොරය සහ කරලියෙන් ඔබ්බට ගිය දේශපාලන සබඳතා පක්ෂ විපක්ෂ බෙදීම් වලින් තොරව බලපෑම් සහගත ලෙස ක්‍රියාකළ නිදසුන් පවතින බැවිණි.

හිෂලිනිට යුක්තිය! ඉටු කර ගැනීම වෙනුවෙන් ඇගේ මරණය සිදු වූ දින වල උද්ගෝෂණය කළ, විරෝධතාවයන් දැක්වූ බොහෝ කණ්ඩායම් සමාජය තුළ දක්නට ලැබුණි. සමහර මන්ත්‍රීවරු පවා වීදි බැස මහා හඬින් කියා සිටියේ ඇයට යුක්තිය ඉටු වන තෙක් ඔවුන්ගේ මැදිහත් වීම සිදු කරන බවයි. නමුත් මේ වන විට එම කණ්ඩායම් වල සක්‍රීය මැදිහත් වීම් සමාජය තුළ දක්නට නොලැබේ. ගෘහස්ථ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි මෙම දැරිය මිය ගිය සිදුවීම තවත් එක සිදුවීමක් ලෙස වැළලී ඇත. අප සංගමයක් ලෙස මැදිහත් වෙමින් ඉල්ලීම් කරමින් සිටින ගෘහස්ථ කම්කරු අයිතීන් පිළිබඳව සකච්චාවද සමාජය තුළ පවතී. කම්කරු අමාතයවරයා විසින් මෙම නීති සම්පාදනය කරන බවටද ප්‍රකාශ කර ඇත. නමුත් මෙය මිනිස් සමාජයක් නම් එවැනි මිලේච්ච නැවත ඇති වීමට ඉඩ නොදීමට වගබලා ගත යුතුය. නොඑසේ නම් මහා හඬින් පන්සල්, පල්ලි, කෝවිල් තුළ ගයන ගීතිකා, යදින යාතිකා, පන්සිල් පිරිත් හඬවල් යහපත් සමාජයක් වෙනුවෙන් නොවන බව තවදුරටත් පසක්කරනු ඇත.

මෙම සිද්ධියට ආදාළ සියළු වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය. ඒ සඳහා වන අපක්ෂපාතී පරීක්ෂණ පිළිබඳව ජනතාවට හෙළි දරව් කිරීම විනවිදබාවයකින් යුක්ත පරීක්ෂණයක් කෙරෙහි ඉතා වැදගත් වනු ඇත. එම දඬුවම් සමගම මෙවැනි සිදුවීම් සිදුවන සමාජය පිළිබඳව ද සාමූහික සිතීමක් අවශ්‍යය. මෙවැනි සිදු වීම් සාමාන්‍යකරණය වූ සමාජයක් ශිෂ්ට සමාජයක් ලෙස හැඳින්විය නොහැකිය.  

එන්න එක් වන්න! යුක්තිය වෙනුවෙන් පෙළගැසෙමු!

කල්ප මධුරංග