වරාය යළිත් ගිනියම් වන ලකුණු!

වරාය යළිත් ගිනියම් වන ලකුණු!
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා සපයන්නට බව කියමින් රජය විසින් හදිසි නීති තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබේ. පාරිභෝගික ආරක්ෂණ පනත් යටතේත්, සාමාන්‍ය නීතිය යටතේත් ක්‍රියාත්මක විය හැකි බලය හා අවස්ථාව තිබියදී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ සමාජය තුළ සැක සංකා මතුවීම අහම්බයක් නොවේ. අනෙක් අතට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහාත්, නිරෝධායන නීති රීති හරහාත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම වැඩකරන ජනයාට අහිතකර අත්තනෝමතික ක්‍රියා බොහෝමයකට එරෙහි වන ජනතා විරෝධය මර්දනය කරන්නට කටයුතු කරනු පෙනෙයි. නිදසුනක් ලෙස පසුගිය අගෝස්තු මස පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයක් අවසානයේ එම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන් ජෝෂ්ප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීමත්, තාමත් ලංකා වතු සේවක සංගමයේ සභාපති චතුර සමරසිංහ වැන්නන් පසු පස හඹා යාමත් සිහිපත් කළ හැකියි.
 
මෙවන් පසුබිමක ගුරු වැටුප් විෂමතාව අරමුණු කොට ගත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්, වතු ක්ෂේත්‍රයේ නොවිසඳුණු ගැටළු අරබයා කෙරෙන ඉල්ලීම්, සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඉල්ලීම්, ග්‍රාම නිලධාරීන් රාජකාරිවලින් ඉවත්වීම් ආදී නොයෙකුත් ක්ෂේත්‍රවල අර්බුද ගණනාවක් දක්නට ලැබේ. එසේ වුවද, එක් පසෙකින් මර්දන නීති දැඩි කරන අතරේත්, අනෙක් පසින් කොවිඩ් අර්බුදයට මුවාවී තම අත්තනෝමතික පටු අරමුණු ඉටුකර ගැනීමටත් පාලකයින් සැලසුම් සකස් කිරීමත් දකින්නට ලැබීම වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අවධානයට ලක්ව ඇත. මේ වෙනුවෙන් අන් කවරදාටත් වඩා පවත්නා දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, ඔවුන් සාමූහික ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වෙමින් සිටීම සතුටට කරුණකි.
 
වරාය වෘත්තීය සමිති නියෝජිතයින් ද මේ දිනවල පක්ෂ පාට භේද නොසලකා බලමුළු ගැන්වෙමින් සිටියි. ඒ් මීට පෙරාතුව නැගෙනහිර පර්යන්තය රැක ගැනීමට සහයෝගයෙන් යුතුව ක්‍රියා කළා සේමය. නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න  කළුතරගේ මහතා ඒ් පිළිබඳ මෙසේ පවසයි.
 
"වරාය අධිකාරිය සතු අක්කර 13ක ඉඩමක් චීන සමාගමකට පවරන්න පාලකයින් කටයුතු කරමින් ඉන්නවා. මේවන විට 07/21, සහ 08/09 යන කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වෙලා ඉවරයි. මෙම කැබිනට් පත්‍රිකා හරහා සෘජුවම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගනුදෙනු වලට ඇඟිලි ගහන්නට, බලපෑම් කරන්නට විතරක් නෙවෙයි නොසෑහෙන තරමේ ලාභ සූරාගෙන කන්නට චීනයට හැකියාව ලැබෙනවා. ඉතිං නැගෙනහිර පර්යන්තය රැකගන්නට සාමූහිකව අරගල කළා සේම මේ ගැටළුවේදී අපි සාමූහිකව වරාය වෘත්තීය සමිති 37ක් ඒකාබද්ධව ක්‍රියා කරනවා"
 
සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂාන් ගොරකාන මහතාද මේ පිළිබඳ කියා සිටියි.
 
"අපගේ වරාය නාවික කේන්ද්‍රස්ථානයක පිහිටීම නිසා ලොව බලවත් රටවල අතපෑම්වලට නිරන්තරයෙන්ම ලක්වෙනවා. ඒ් අවස්ථාවන්හි සෘජු තීරණ අරන් රටේ සම්පත් ඵලදායි ලෙස යොදාගෙන රට දියුණු කිරීමට පවත්නා ඉඩප්‍රස්ථා අහිමි කර ගන්න පාලකයින් කටයුතු කිරීම ඉතාම කනගාටුදායකයි. අපට වරයාන් අහිමිවුණා. පර්යන්තයන් අහිමිවුණා. සම්පත් අහිමි වුණා. තවදුරටත් මේ දේවල් දිහා නිහඬව බලාගෙන ඉන්න අපට බෑ. අපි මේකට විරුද්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නවා"
 
වරාය වෘත්තීය සමිති නියෝජිතයින් පොදු එකඟතාවකින් යුතුව කටයුතු කිරීම අතිශය වැදගත්ය. මහපාරට බැස විරෝධය දැක්වීමේ ඉඩප්‍රස්ථාව අහිමිවී තිබියදී පවා ඔවුන් අධිෂ්ඨානශීලිව පෙරට ඒ්ම සුළුපටු කාර්යයක් නොවේ. ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
 
"චීනයේ සීඅයිපීසී කියන මෙම සමාගමට මීට පෙරාතුව ගිවිසුමක් මගින් ටර්මිනල් මෙහෙයුම් සඳහා පමණක් අවසර ලබාදී තිබුණා. ඒ් ගිවිසුම පවා කඩකරමින්, නීති විරෝධී ලෙස මූල්‍ය කොන්දේසි පවා කඩකර තිබියදී තමා මේ ඊට වඩා දේවල් දෙන්න යන්නෙ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවා වරායේ අපි වැඩ. ගනුදෙනු සිද්ධවෙනවා. අත්‍යවශ්‍ය ආහාර, සෞඛ්‍ය උපකරණ, ඖෂධ, ආරක්ෂාව සම්බන්ධ අවි ආයුධ වැනි අතිශය වැදගත් දේවල් සම්බන්දයෙන් ගනුදෙනු කිරීමට මේ සමාගමකට පැවරීම අතිශය භයානකයි. ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක්. කැබිනට් පත්‍රිකාව පවා දෝෂ සහගත දේවල් ඇතුළත් කරලා හොර පාරෙන් අරන් ඇවිත් තියෙන්නෙ. හම්බන්තොට වරාය පවා විකිණීමට විරුද්ධව විදේශයන්ට විකුණපු දේවල් නැවත පවරා ගන්නවා යයි කියා ජනතාවට පොරොන්දු ලබාදී බලයට පැමිණි ආණ්ඩුවක් මේ ලෙස කටයුතු කිරීම පිළිබඳ ජනතා අවධානය යොමුවිය යුතුමයි"
 
වරාය සමගි සේවක සංගමයේ ලේකම් රොෂාන් පෙරේරාද, අදහස් පළකරමින් කියා සිටියේ මේ අතිශය වැදගත් මොහොතේ ආණ්ඩුවේ මෙම වෑයම සාමූහිකව පරාද කළ යුතු බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය.
 
'' කොළඹ වරායේ බැටන්බර්ග් ප්‍රදේශයට අයිති පර්යන්තය සහිත ඉඩම තමා මේ දෙන්න යන්නෙ. වෙන විදිහකට කීවොත් මේක පැරණි සේද මාවත යා කරන පාරට මුහුණලා තියෙන්නෙ. අතිශයින් වැදගත් තැනක්. එක් පැත්තකින් පෝට් සිටියට ප්‍රවේශ මාර්ගයක. මේක පාඩු ලබන එකක් නෙවෙයි, අතිශය ලාභ ලබන ඩොලර් ගලා එන තැනක්. මේ වගේ එකක් චීනයට පවරා රටට ඩොලර් ලැබෙන අවස්ථා අහුරා ගන්නේ ඇයිද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්"
 
පසුගියදා පැවති මාධ්‍ය වැඩසටහනකදී මෙම වෘත්තීය සමිති නියෝජිතයින් ස්වකීය කරුණු දක්වන ලදී.
 
 
 
-පී.ඩබ් මුතුකුඩආරච්චි