රාජ්‍ය සේවයේ කොටසකට වැටුපට අමතරව දීමනාවක් ලබා දීමේ තීරණයක්

රාජ්‍ය සේවයේ කොටසකට වැටුපට අමතරව  දීමනාවක් ලබා දීමේ තීරණයක්

තම වසමට අමතරව වෙනත් වසමක රාජකාරි ආවරණය කරන ග්‍රාම නිලධාරීන්ට අමතර දීමනාවක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට කරන ලද ලිඛිත ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය සම්බන්ධයෙන් අවදානය යොමුකළ අතරම ඊට අදාළ කටයුතු කඩිනමින් සකස් කරමින් සිටින බවත් ඊට මුදල් ප්‍රතිපාදන ලැබුණු සැණින් අදාළ ග්‍රාම නිලධාරීන්ට එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි.

මෙරට සමස්ත ග්‍රාම නිලධාරීන් 14,022 දෙදෙනෙකු සක්‍රිය සේවයේ නියුතු විය යුතු වුවද, මේ වනවිට සේවයේ නියැලෙන්නේ 10,922 දෙදෙනෙකු පමණක් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි සඳහන් කරයි.

2018 වසරේ සිට ග්‍රාම නිලධාරීන් දෙදෙහසක පුරප්පාඩු පවතින අතර ඒ සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට පසුගිය මැයි මස ගැසට් නිවේදනයක් නිකුත් කර අයදුම්පත් පමණක් කැඳවා තිබේ. ඊට අමතරව කොවිඩ් ආසාදිතව නිලධාරීන් 500 දෙනෙකු සේවයෙන් නිවාඩු ලබා ගෙන ඇති අතර ප්‍රසූත නිවාඩු සඳහා දිවයින පුරා ග්‍රාම නිලධාරිනියන් 600 දෙනෙකු ද සේවයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

මෙම තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවල එක් ග්‍රාම නිලධාරියෙකුට තම වසමට අමතරව තවත් වසම් කිහිපයක රාජකාරියේ නියුතුවීමට සිදුවීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් බවද සභාපතිවරයා අවධාරණය කරයි.